සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්.. අලුත් වෙන ශ්‍රී ලංකාව

වසර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (28) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්‍රදේශ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, නව ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 10ක් මේ වසරේදී ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්‍යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

සංචාරක ආකාර්ෂණය දිනා ගත් වන උද්‍යාන සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම මෙන්ම වන සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, නියමිත නිත්‍යානුකූල ක්‍රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel