සජබ වැලිගම හිටපු නගරාධිපති සහ ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි.!

පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බව පවසමින් සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බවයි.

සිය ලිපියෙන් ඔහු තවදුරටත් මෙලෙස පවසා තිබුණා.

 “නායකතුමනි,

පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.

රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.

මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලික අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.

එනයින්, අද දින සිට බල පැවැත්වෙන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.

මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.”

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments