මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කල මෙට්‍රො නව බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
එම පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරන ලද කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් අද (07) දින ආරම්භ කිරීම සිදුකෙරිණ.
මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකල පළමු ඩිපෝ අංගනය පසුගිය (04) වන දින බත්තරමුල්ල, තලංගම දී ජනතා අයිතියට පත්කළ අතර දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත – ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.
මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.
ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙට්‍රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරේ.
මෙම මාර්ගයේ නව මෙට්‍රො බස් රථ 15 ක් යොදා ජනතාවට අවශ්‍ය සුවපහසු ප්‍රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම, මෙම නව ඩිපෝ මධ්‍යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරයි.
ඩිපෝ අංගන ඉදිකිරීමේ දිගුකාලීන සැලසුමට අමතරව බස් රථ නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම්, රථගාල් ඇතුළු අනෙකුත් ප්‍රවාහන සේවා සමග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ද සිදුකෙරේ.
මෙම නව මෙට්‍රො බස් ව්‍යාපෘතිය පොදු ප්‍රවාහන සේවා නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ප්‍රධානතම අංගයක් වන අතර 2025 අයවැය මගින් නවීන හා තාක්ෂණික පහසුකම් සහිත බස්රථ හඳුන්වාදීම සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම හරහා ඩිජිටල් වේදිකාවක් මත සේවා ක්‍රියාත්මක කිරීම ද ආරම්භ විය.
