සිම් කාඩ්පත් භාවිතා කරමින් සිදුකරන ලද නීතිවිරෝධි ක්‍රියාවන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවත් ඒ හේතුවෙන් සිමි කාඩ් පත් සමිබන්ධයෙන් නියාමනයක් සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.
එනිසා බොහෝ දුරට 2026 වසර අවසානයේ අලුතින් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයක් සමග එම සිම් එක ගැනීමට සිදුවන බවද එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.
තවද ලබන 2027 වසරේදී සියලුම දුරකථන පාවිච්චි කරන, සිම් භාවිත කරන පුද්ගලයින් සඳහා හඳුනා ගැනීම සියයට සියයක් සහතික වෙන විදියේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.
අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේ,
“සිම් කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි අපි යාවත්කාලීන කරලා තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන ආයතන, එනම් පොලීසිය වගේ ආයතනවලින් අපිට ඉල්ලීමක් කළා, ගිය වසර දෙක තුනක කාලයේදී සිම් කාඩ්පත් භාවිතයෙන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉතාමත් වැඩිවෙලා කියලා.
ඒකට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. ඒ ආයතනත් එක්ක එකතුවෙලා සිම් රෙගුලාසි යාවත්කාලීන කරලා, විශේෂයෙන් මේක ක්‍රියාත්මක වුණ දිනයේ පටන්, බොහෝ දුරට මේ අවුරුද්ද අවසානයේ අලුතින් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයක් සමග තමයි ඒ සිම් එක ගන්න පුළුවන් වෙන්නේ.
ඒක පටන්ගත්තට පස්සේ 2027 වසරේදී සියලුම දුරකථන පාවිච්චි කරන, සිම් භාවිත කරන අය සඳහා, එනම් පාරිභෝගිකයා හඳුනා ගැනීම සියයට සියයක් සහතික වෙන විදියේ වැඩපිළිවෙළක් සිදු කරන්න කැමතියි.
මෙහිදී කිසිම වෙලාවක සාමාන්‍ය ජනතාවට මේකෙන් කිසිදු ගැටලුවක් නොවන විදිහට සහ විදේශිකයන්ටත් කිසිම විදිහකින් ගැටලුවක් නොවන විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. වැඩිපුරම බලන්නේ මේ රටේ තියෙන නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා සිම් භාවිතා කිරීම අවම කිරීම සඳහා.
රටේ මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් මේ සිම් පාවිච්චි කරනවා. ඒ ජනතාවගේ එක පැමිණිල්ලක් තමයි සේවාවේ ගුණාත්මකභාවය අඩුයි කියන එක. දැනට අපි ක්‍රියාකරන්නේ අදාළ සේවා සපයන්නන්ගේ තියෙන දත්ත මත. අපිට ඒක තවදුරටත් නිවැරදිව කියන්න බලාගැනීමට පද්ධතියක් නෑ.”
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මේ බව සඳහන් කරයි.
