ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත “හරිත මාවත” – “රටට හුස්මක් – මගට සෙවනක් ” මාර්ග දෙපස පැල මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ මුලික අදියර වශයෙන් මාර්ග දෙපස පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන ( Roadside Tree Planting Programme ) පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (10) පැවැත්විණ.
මෙම ව්‍යාපෘතිය සඳහා පුළුල් මහජන සහභාගිත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර මාර්ග දෙපස පදිංචි ජනතාව, පාසැල් ප්‍රජාව, පුද්ගලික අංශය හා ව්‍යවසායකත්වය සහ රාජ්‍ය ආයතනවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරිය සතු A සහ B ශ්‍රේණියේ මාර්ග දෙපස, පරිසර කලාපවලට අනුකුල පැල වර්ග මේ සඳහා යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් මුරුත, පලු, බුළු, සියඹලා , මල් ඇහැල, රජරට ඇහැල, මඟුල් කරඳ, මයිල, පිහිඹියා, මදටියා, ගොරකා, දිවුල්, ඇටඹ, නා, කොහොඹ, රොබෝසියා, කළු මැදිරිය, දං, වෙරළු, කටු අනෝදා, කොස්, අඹ, පෙතන්, මී, කුඹුක්, අටඹ, බෙලි වැනි ශාක වර්ග රැසක් මේ සඳහා යොදා ගැනීමට මෙහිදී තීරණය විය .
තවද පැල ආරක්ෂණය (Guard Mesh) සිදු කිරීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.
වායු දුෂණය අවම කිරීම, හා මගීන්ට සුවදායක පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල ආදී නගරවල උෂ්ණත්වය පාලනය හා සෞන්දර්ය නගා සිටුවීම අපේක්ෂා කෙරේ.
තවද බියගම , කටුනායක හා සීතාවක වැනි කාර්මික කලාපවල වායු දුෂණය වැළැක්වීම හා දුම ස්වාභාවිකව අවශෝෂණය වීමට පරිසරය නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘති සැලැස්මට අයත්ය.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් එක් වීමට නියමිතය.
