Life Cities Development Programme – 2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය යෝජනාවලිය යටතේ හඳුන්වා දුන් නාගරික සංවර්ධන ක්ෂේත්රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් හරහා සියලු ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නගර සංවර්ධනය අරමුණු කරගත් මූලික වැඩසටහනක් වේ.
මෙම වැඩසටහන මගින්, පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වූ ගැටළු නිරාකරණය කිරීම අපේක්ෂාව වන අතර ඒ හරහා නගරයන් හි වූ සුවිශේෂීත්වයන් ද සලකා එම නගර දියුණු කරලීම ව්‍යාපෘතියේ ඉලක්කය වේ.
Life Cities සංවර්ධන වැඩසටහනින් 2026 වර්ෂයේදී යාපනය, මාතර, මඩකලපුව, බදුල්ල, මාතලේ, තඹුත්තේගම, වව්නියාව, හැටන්, හලාවත සහ ඇහැලියගොඩ යන නගර සංවර්ධනය කෙරේ.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සදහා දෙහිවල, කළුතර, පානදුර, මතුගම, ගාල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, කල්මුණේ, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තන්ඩිය, රත්නපුර, ත්‍රිකුණාමලය, කන්තලේ සහ ඇල්ල යන නගර ද තෝරාගෙන ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයුම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්ෂම, තිරසාර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි.

