පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කළ බවත් එළඹෙන අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“වකුගඩු රෝගියෙකුට දුන්නා රුපියල් 5,000ක්. අපි ඇවිල්ලා අවුරුදු 2යි, දැන් රුපියල් 10,000යි. සහනාධාරය වැඩි කරා. භාණ්ඩාරගාරයේ සල්ලි තියෙනවා සහනාධාර වැඩි කරා. පොහොර සහනාධාරය රුපියල් 15,000යි. දැන් මේ යලට 30,000 කරා.
දිගටම 30,000යි. මම මේ සැරේ බජට් එකට දාලා තියෙන්නේ, ඊළග කන්නයේත් 30,000යි. අපි එනකොට 15,000යි, දැන් 30,000යි. ධනය තියෙනවා සහනාධාර වැඩි වෙනවා. වැඩිහිටි දීමනාව රුපියල් 3,000යි තිබ්බේ. දැන් 5,000යි. මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 5,000යි තිබ්බේ.
දැන් 10,000යි. භාණ්ඩාරගාරයේ ධනය එකතු කරලා සහනාධාර ලැබිය යුතු අයට දෙනවා. ඒ විතරක් නෙමෙයි. පළමු වතාවට ලංකාවේ, අපි 2024 අවුරුද්දෙත් දුන්නා, 2025 අවුරුද්දෙත් දුන්නා, 2026 අවුරුද්දෙත් දෙනවා. මොකක්ද.? අගහිගකම් තියෙන පාසල් දරුවන්ට රුපියල් 6,000ක් දෙනවා.
පාසල් පොත්, උපකරණ මිලදී ගන්න. ගිය අවුරුද්දේ අපි ලක්ෂ 17කට දුන්නා. අස්වැසුම සහනාධාර ගන්න පවුල්වල හැම දරුවට දුන්නා. ඊට අමතරව ළමයි 200ට අඩු පාසලකම හැම දරුවටම දුන්නා. රුපියල් 6,000 ගානේ.
අස්වැසුම සහනාධාරය වැඩි කරා. තව ගෙවල් හදන්න කිවුවා. අපි ගෙවල් හදන්න දස ලක්ෂ දහදාහක් දුන්නා. රුපියල් ලක්ෂ 10න් ගෙයක් හදන්න ආධාරයක් දෙනවා, ගමේ ඉන්න අය එකතු වෙලා ඒ ගේ හදනවා. ගෙවල් 10,000ක් හදන්න එහෙම කල්පනා කරා.
දැන් පරිවාස භාරයට පත්වෙච්ච දරුවෝ ඉන්නවා නේ. අම්ම, තාත්ත, භාරකාරයෙක් නැතුව. ඒ දරුවන්ට අනාගතයක් නෑ. අපි මේ ජනවාරි මාසයේ ඉදන් මොකද කරන්නේ. ඒ හැම දරුවටම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.”
