ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගරයේ පවත්වන ලද ජන රැලියෙන් පසුව බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
එම සටහන පහතින්..
‘කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ යකඩ කූරු අතරින් මම ඔබව දකිමි. ඔබ විසින් මා වෙත පළ කරන මේ ලෙන්ගතු සහෝදරත්වයේ උණුසුම මම මෙහි සිට අත්විඳිමි. ඔබගේ මේ උද්යෝගිමත් සහයෝගය මට ඉමහත් ආස්වාදයකි. මේ අභියෝගාත්මක මොහොතට මම ඉතා ශක්තිමත්ව මුහුණදෙමි. ඔබ වැනි වීරවන්තයින් සහිත දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයකි. ජනසටන මහ රැළිය මෙරට පොදුජන සටන් ව්‍යාපාරයේ තීරණාත්මක අලුත් ආරම්භයක් වනු ඇත. අපි මේ අවතීරණ වී සිටින්නේ යුගයේ යුක්ති සහගතම දේශපාලන සටන් අවකාශය වෙතටයි. ඔබ මා සමඟ එකඟ වනු ඇත.
ශ්‍රේෂ්ඨ ලෝක නායකයෙකු වූ නෙල්සන් මැන්ඩලා, රොබ්න් දූපත් සිර මැදිරියේ සිට ලියූ ලිපියක මෙසේ ලියා තිබුණි. “Difficulties break some men but make others.” දුෂ්කරතා ඇතැමුන්ව බිඳ දමයි. නමුත් දුෂ්කරතා විසින් ඇතැමුන්ව ගොඩනඟයි. අපි දුෂ්කරතා හමුවේ තව තවත් ශක්තිමත් වූ මිනිසුන් ය. අභියෝග අභියසදී වඩාත් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ මගේ තාත්තාය.
ජන වරමට ගරු කිරීම, ප්‍රතිපත්තිවලට වග වීම, තීරණවලට හේතු දැක්වීම, ආණ්ඩුකරණයේ දී නොසලකා හැරිය නොහැක. නමුත් මේ ආණ්ඩුවට එවන් සදාචාරයක් නැත. වර්තමාන මාලිමා ආණ්ඩුව කියූ දේ නොකරයි. නොකියු දේ කරයි. රටේත් සමස්ත පුරවැසි සමාජයේත් සැබෑ අභිලාෂයන් නොතකා සිටී. මෙය රටක දේශපාලනයේ ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වය බිඳ දැමීමකි.
මේ ආණ්ඩුවේ ධූර කාලයෙන් 1/3 ක් දැන් අවසන් ය. ඔවුන් විසින් සපථ කළ දියුණු ආර්ථිකය, සුව පහසු ජීවිතය, අලුත් සමාජ දේශපාලන පරිවර්තනය හුදු ප්‍රබන්ධයක් පමණි. කිසිදු පුරවැසි ආයාචනයකට මාලිමා ආණ්ඩුව සාධාරණ ප්‍රතිචාරයක් දක්වා නැත. තමන්ගේ දහඩිය මහන්සියට සාධාරණයක් ඉල්ලා සිටි ගොවීන්ට මේ ආණ්ඩුව ලබා දුන් බාල අනුවර්තනා නාමය ඔබට අමතක නැත. සාදාරණ ඉල්ලීම් සහිත කම්කරු සටනකට පිළිතුරු ලෙස අදාළ ආයතනය වසා දැමූ ආණ්ඩුවක් ගැන ඔබ මීට පෙර අසා තිබේ ද.?
තෙල් මිල, විදුලි බිල, වී මිල සහ හාල් මිල ගැන මේ තරම් බොරු පොරොන්දු දුන් ආණ්ඩුවක් තවදුරටත් බලයේ සිටිය යුතු ද.? බදු බර අඩු කරන බවට ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ සියලු බදුවලින් නිදහස් කරන බවට පොරොන්දු දුන් ආණ්ඩුවට අද ඒ කිසිවක් ගැන වගේ වගක් නැත. ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමක පවතී. අසීමිත බදු බර දෛනික ජන ජීවිතයත්, රටේ සමස්ත ආර්ථික දේහයත් නිර්වින්දනය කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ගොවීන්, ධීවරයින්, කම්කරුවන් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් මේ සියල්ලෝම අන්ත අසරණ වී සිටිති.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැත. ආණ්ඩුව පොහොසත් ය. පුරවැසියන් දුප්පත් ය. ප්‍රාථමික ගිණුමේ ශේෂය හෝ අයවැය අතිරික්තයක් තුළින් පමණක් දියුණු ආර්ථිකයක් හෝ සුව පහසු ජන ජීවිතයක් නිර්මාණය වන්නේ නැත. නූතන සමාජය දියුණුව සහ සංවර්ධනය ලෙස සලකන්නේ පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයන් මිස සාර්ව ආර්ථික දත්තයන් නොවේ.
මිත්‍රවරුනි, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සියලු දෙනා සිටින්නේ නීතියට ඉහළින් ය. නීතියට ඉහළින් කිසිවෙක් නැත යන්න මේ ආණ්ඩුව යටතේ තවදුරටත් වලංගු නැත. මේ ආණ්ඩුව රාජ්‍යයේ සියලු විමර්ශන ආයතන මුළුමනින් ම දේශපාලනීකරණය කර අවසන් ය. ආණ්ඩුවට සහ ආණ්ඩුවේ බලවතුන්ට එරෙහිව ප්‍රබල චෝදනා එල්ල වී තිබේ. නමුත් ඒ කිසිවක් පිළිබඳව පිළිගත හැකි සාධාරණ විමර්ශනයක් සිදුවන බවක් නොපෙනේ. ඒ චූදිතයන් සියල්ලෝ ම ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ලබමින් නිදැල්ලේ සිටිති.
මේ ආණ්ඩුව පොරොන්දු වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ජනමත විචාරණයකින් සම්මත කරන බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවටත් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරන බවටත් අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බවටත් එහි දී පොරොන්දු වී තිබුණි. පළාත් සභා මැතිවරණය පිළිබඳව ද ආණ්ඩුව සාහසික ලෙස නිහඬව සිටී.
යුක්තිය, සාධාරණය, නීතියේ අධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් නොසලකමින් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් කරලියට රැගෙන විත් තිබේ. එවැනි සංශෝධනයක අවශ්‍යතාවය පිළිබඳ පිළිගත හැකි සාධාරණ හේතු දැක්වීමක නැත. කවුරු විරුද්ධ වුනත් අපි ඒක කරනවා යැයි පාරම්බෑම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. මේ ආණ්ඩුවේ වියරු හැසිරීමට අපි තවදුරටත් ඉඩ දිය යුතු ද.?
අපේ රටේ ජනගහන දත්ත විමසා බැලීමේ දී තරුණ ජනගහනයේ සාපේක්ෂ ඉහළ යාමක් නිරීක්ෂණය වේ. එයින් මූලික වශයෙන් අදහස් වන්නේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් රැකියා වෙළෙඳ පොළට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. මාලිමා ආණ්ඩුව මේ තරුණ අභිලාෂය තේරුම් ගෙන නැත. අලුත් රැකියා අවස්ථාවන් උත්පාදනය සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. රාජ්‍ය ආයෝජන අතහැර දමා ඇත. පෞද්ගලික ආයෝජන අධෛර්යමත් කර ඇත. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ඊට හේතු වී තිබේ. එලෙස මිය දෙන තරුණ බලාපොරොත්තු ගැන ආණ්ඩුවට කිසිදු හැඟීමක් නැත. පවුලේ ජීවන බර හේතුවෙන් තාරුණ්‍යයේ උසස් අධ්‍යාපන අවස්ථා ද අහිමි වෙමින් පවතී.
මාලිමා ආණ්ඩුවේ සියුම් සංස්කෘතික ප්‍රහාරය ද අපි තේරුම් ගත යුතුව ඇත. තම තමන්ගේ අන්‍යනතාවයන් රැකගෙන සියල්ලන් සමඟ එකට ජීවත් වීම මහජන අපේක්ෂාවයි. නමුත් එවැනි දියුණු සංහිඳියා ප්‍රවේශයක් ආණ්ඩුවට නැත. වාර්ගික සුහදත්වය සහ ආගමික සහජීවනය වෙත ආණ්ඩුවට ඇත්තේ ඉතා නොදියුණු ප්‍රවේශයකි.
ආදරණීය දෙමාපියනි, සහෝදර සහෝදරියනි, ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට මා කිසිසේත් යටත් වන්නේ නැත. මා බිය වන්නේ ද නැත. අපගේ අධිෂ්ඨානය සිරගත කළ නොහැක. කිසිවෙකු පිළිබඳ වෛරයක් අපට නැත. නමුත් මේ සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යවසනයට එරෙහිව අපි සටන් කළ යුතුව ඇත. ජයග්‍රහණය පිළිබඳ අකලංක විශ්වාසයෙන් අපි ඉදිරියටම යමු.
නොබියව වීර්යවන්තව සටන් කරමු. එය උපන් නූපන් සියල්ලන් වෙනුවෙන් අප වෙත පැවරුණු වගකීමයි. එය අත්හල නොහැක. ඕනෑම අභියෝගයක් ජයගත හැකි දැවැන්ත මහජන බලවේගයක් ගොඩ නගමු. අපි සාමකාමී වෙමු. විනය රකිමු. නීතියට ගරු කරමු. මේ ඉතිහාස ගත ජනසටන ජයග්‍රහණයෙන් අවසන් කරමු. මාගේ හෘදයාංගම ස්තුතිය ආදරයෙන් භාර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.”
