ලෝක හෙල්ල විසිකිරීමේ අංක එක ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) දින දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණෙන විට ඔහු සතු හෙල්ල 5ක් ගුවන් යානයේදී සැකසහිත ලෙස කැඩී හානි සිදුව ඇත.
රුමේෂ් තරංග හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5ටම හානි සිදුව ඇත.
මෙම සිදුවීම හේතුවෙන් තමන් අද දිනයේ කටුනායක ගුවන්තොටුපළට පැමිණ එළියට එනවිට වෙනදා වගේ සතුටකින් නොව දුකකින් එළියට පැමිණි බව රුමේෂ් තරංග සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ,
“අවාසනාවන්ත කමට, මීටර් 92න් උඩ විසි කරපු හෙල්ල 5ම අද ගුවන් යානයේදී කැඩිලා තිබුණා. මොකක් හරි අතපසුවීමක් නිසා. ඉතිං කරන්න දෙයක් නෑ. සතුටක් වගේම, අද ගුවන්තොටුපළට එද්දී වෙනදා වගේ සතුටින් නෙමෙයි එළියට ආවේ.”
මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් තම දරුවාට ඔලිම්පික් යනකම් හැමදේකින්ම පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන ලෙස රුමේෂ් තරංගගේ මව ඉල්ලීමක් කරයි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංගගේ මව විසින් සඳහන් කළේ,
“කියන්න බැරි සතුටක් තමයි තියෙන්නේ. දරුවා බලාපොරොත්තු වෙච්ච ඒ සියලුම ජයග්‍රහණ ටික පිළිවෙලට අරන් දීලා තියෙනවා. ඒ වගේම මම දරුවගේ පැත්තෙන් කියන්නෙත් ඉස්සරහට දරුවා ඔලිම්පික් යනකම්ම දරුවට පූර්ණ ආරක්ෂාවක් ලබාදෙන්න හැමදේකින්ම.
අද උදේ අහන්න ලැබ්ච්ච ඒ කණගාටුදායක සිද්ධියත් එක්ක, ඇත්තටම අර ගෙනාපු සතුට සේරම ආපස්සට ගියා වගේ දැනුනා. දරුවාව තවදුරටත් හොදට ආරක්ෂා කර දෙන්න කියලා මම කියනවා.”
