මේ වනවිට රැදවුම් නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු විමර්ශනය සම්පුර්ණයෙන්ම අඩපන කර දින 100ක කාලයක් කොළඹ ජාතික රෝහලේ විවේකීව නේවාසිකව රැදී සිටියි.
පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලැබ මේ වනවිට ජාතික රෝහලේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ රෝගී තත්ත්ව වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
ඒ අනුව ලබන (22) වනදා අධිකරණයේ පෙනී සිට මෙම කරුණු දැක්වීම සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
සලේ රෝහලේ රඳවා ගැනීම සඳහා වෛද්‍ය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇද්දැයි සැකයක් මතුවන බව, සිදුකරන විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දැක්වීය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ,
“අදට දින 100ක්. මොහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව විවේකීව ගත කරමින් ඉන්නවා. මුලින්ම මොහු මානසික වෛද්‍ය වාර්තාවක් මේ අධිකරණය හමුවට ඉදිරිපත් කරලා ඔහු රැඳවුම් භාරයේ සිටියදී වධ හිංසාවට ලක් වෙලා මානසිකව වැටිලා සියදිවි නසා ගන්න තත්ත්වයට ඔහු පත්වෙලා ඉන්නේ කියලා රංගනයක් කළා.
ඊට පස්සේ මේ විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනම අරන් දවස් තුනක් ගිය ගමන් මොහු 2026.06.05 උපවාසයක් පටන් ගත්තා. ඊට පස්සේ මොහුව 2026.06.07 කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළා. ඇයි ස්වාමීනි මොහු මෙහෙම හැසිරෙන්නේ.
ඔහුට ඉහළින් මේ අපරාධයට සම්බන්ධ මේ පුද්ගලයින් ආරක්ෂා කරන්න. මේ විමර්ශනය අඩපණ කරන්න. අර හිටපු ජනාධිපතිවරයෙකුත් හිටියේ කොළඹ ජාතික රෝහලේ විවේකී සුවයෙන් අන්න ඒ වගේ. මොහුව බලන්න ලෝයර්ස්ලා එනවා. ගෙදර අය එනවා.
කිසිම බරපතල රෝගී තත්ත්වයක් නැතුව දින 100ක් තිස්සේ විවේකීව රෝහලට වෙලා ඉන්නවා. හෘදයේ බයිපාස් සැත්කමක් කරපු රෝගීයෙකුත් සතියකින් එවනවා ගෙදර. මොහුට එහෙම සැත්කමක්වත් කරලා නෑ. මොහුට හෘදයට පේස්මේකර් එකක් විතරයි දමා තිබෙන්නේ.
ඒ කියන්නේ ස්වාමීනි.. හෘදයේ ස්පන්ධනය විධිමත් කිරීමට ඒ මැෂින් එක දාලා තියෙන්නේ. ඒක බරපතල සැත්කමක් නෙමේ. මොහුව දැන් රෝහලේ තියන් මොකක්ද කරන්නේ.? මොහුගේ දත් හදනවා, ඇස් හදනවා, කන් සුද්ද කරනවා. මේවා තමා මොහුට දෙන ප්‍රතිකාර.
මේ සැකකරු වෛද්‍ය රැකවරණය මත විවේකීව ඉන්නවා කොළඹ ජාතික රෝහලට වෙලා. මොහු විමර්ශනයට අදාලව ඔහුට එරෙහිව ලබාගත් රැඳවුම් නියෝගයට අනුව විමර්ශන ඉදිරියට සිදු කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථ කරලා. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා රාජ්‍ය නිළධාරියෙක් ලෙස මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතුයි.
මේ සැකකරු වෛද්‍ය රැකවරණය මත අනවශ්‍ය ලෙස ජාතික රෝහලේ සිටින බවට විමර්ශන නිලධාරීන්ට සැකයක් මතුව තිබෙනවා.”
