එයාර් බස් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇත.
ඒ අනුව ප්‍රමාදයකින් තොරව මෙම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කරයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා. ස්වාමීනී., මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කරගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්.
ඒ අනුව මේ විමර්ශනයට අදාළව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයත් සිදු කෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ.
ඒකට හේතුව ස්වාමිනී., මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමි වෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේක.”
මෙම ගනුදෙනුවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,
“ස්වාමීනි., මේ ප්‍රශ්ණගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට.
ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයිඑන්සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැර වෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරණ සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕසීබීසී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා.
මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා.
මේ මුදල තමා ස්වාමීනි මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ, ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස් සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැට දහස් හාරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශන වලදී අනාවරණය වු කරුණු.”
මෙම සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහාය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමග සිදුකළ ගනුදෙනු හා සම්බන්ධව ඊමේල් පණිවිඩ සොයාගෙන ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,
“ස්වාමීනි., එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ඇවිත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබාදීලා තිබෙනවා මේ සිද්ධියට අදාලව. මේ සම්බන්ධව කළ වෝහාරික පරීක්ෂණයේදී එයාර් බස් සමාගම හා මේ සැකකරු හුවමාරු කර ගත් ඊමේල් පණිවිඩ සොයා ගැනීමට හැකි වුණා. එම ඊමේල් පණිවිඩ මඟින් මේ සැකකරු ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය වී තිබෙනවා.”
“මේ නඩුවේ පළමු සැකකරු මිය ගිහින්. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද එසේත් නැත්නම් ස්වභාවික මරණයක්ද කියා තවම විමර්ශනය කරනවා. ඔහුගේ බිරිඳ දෙවන සැකකාරීය ප්‍රියංකා නියෝමාලි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.
තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවේ ඉන්නවා. ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබෙන්නේ. ඔහු ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ නඩුවේ සැකකරුවන් සම්බන්ධව මේ ආකාරයේ තත්ත්වයක් තමා තියෙන්නේ.
නඩුවේ සාක්ෂිකරුවන් ජීවිත තර්ජන තියෙනවා කියලා බයෙන් ඉන්නවා සාක්ෂි දෙන්න එන්න. එම නිසා ස්වාමීනි මේ අවස්ථාවේ මේ සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධ වෙනවා.”
අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,
“මාගේ සේවාදායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී. මොලේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ.
ඒ නිසා මගේ සේවාදායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මන:කල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවාදායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමීනි මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇප කාරයන්ට බලපෑම් කරයිද.?
මෝඩයෙක් නෙමෙයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප පුදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ ස්වාමිනී. මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න වෙනවා කියලා.”
අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් (23) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
