රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පැන්නූ පුද්ගලයාට දුන් නියෝගය

LIVE

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ටෙලිග්‍රාෆ් ට්‍රාන්ස්ෆර් (TT) හරහා විදේශීය ගිණුම් වලට රුපියල් බිලියන 24.8ක් වටිනා අමෙරිකානු ඩොලර් මාරු කළ බවට චෝදනා එල්ල වූ සැකකරු ලබන ඔක්තෝබර් (01) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

අනතුරුව ඊයේ (22) සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් අතරින් සමාගම් 05ක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වේල්ලවීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය හරහා අදාළ ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments
Most Voted
Newest Oldest