මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, මෙගාවොට් 10ක ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කළේය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර ඇත.
බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ක්ෂේත්‍රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වන අතර දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩාකර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවට ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ විශේෂත්වය වේ.
ජාතික විදුලිබල ජාලයේ ස්ථායීතාවය වර්ධනය කරමින්, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.
ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉතිරි ව්‍යාපෘතිද ඉදිරි මාස දෙක, තුන තුළ නිම කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.
සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිහිටි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක් විය.
