සලේ රැඳවුම් නියෝග භාවිතා කරමින් රෝහලේ සුපිරි සැපක් ගන්නවා

LIVE

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධාර අනුබල හා කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත රැඳවුම් නියෝග ලැබ ජාතික රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ්⁣ සලේ ලබන (28) වනදා තෙක් ප්‍රතිකාර ලැබිය යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව සඳහන් කළේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, රැඳවුම් නියෝග භාවිත කරමින් සුරේෂ්⁣ සලේ රෝහලට වී සුපිරි සැපක් ගන්නා බවත් මේ දිනවල ඔහුගේ දත් වලට බෙහෙත් කරන බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

ස්වාමීනි., ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය නිලධාරියෙකු බැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා. ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවා. නමුත් මා ගියවර ප්‍රකාශ කළා මේ වෛද්‍ය කුමන්ත්‍රණයක් බව. මා තවමත් ඒ ස්ථාවරයේ සිටිමින් මේ පෙනී සිටීම සිදු කරනවා.”

අධිකරණ නියෝගයක් තිබුණද, සුරේෂ්⁣ සලේ තවමත් ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිඝණකයේ මුරපද විමර්ශන නිලධාරීන්ට ලබාදී නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

ඔහු ඉන්නේ මේ මුර පද මතක නෑ කියන ස්ථාවරයේ. ජාතික බුද්ධි අංශ ප්‍රධානියකුට තිබිය යුතුම දෙයක් තමයි මතක ශක්තිය. එහෙම මතක ශක්තියක්වත් නැති පුද්ගලයෙක්. රුපියල් ලක්ෂ හතළිහක් රාජ්‍ය මුදල් උපයෝගී කරගෙන ඔහුට හදවතට උපකරණයක් සවි කරලා තියෙනවා.

දැන් ඔහු ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක. ඒ හතළිස් දෙවැනි වාට්ටුව. ඒ වාට්ටුවට දැම්මෙත් අපි මේ අධිකරණයට ඇවිත් පහුගියදා කරුණු වාර්තා කළාට පස්සේ. එතකන්ම හිටියේ දැඩි සත්කාර ඒකකය තුළ. දැන් ඔහුගේ දත්වලට තමයි බෙහෙත් කරන්නේ. ඔහුගේ දත් හදවත සමග සම්බන්ධයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ.

රැඳවුම් නියෝග භාවිත කරලා “ඔහු සුපිරි සැපක්” ගන්නවා. නමුත් අපි බලනවා (28) වෙනිදයින් පස්සේ මොකක්ද ඊළඟට කරන්නේ කියලා. බලාපොරොත්තු වෙනවා (28) වෙනිදාට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිහින් සුපුරුදු පරිදි විමර්ශන සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්න.”

1 Comment
Most Voted
Newest Oldest