මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය සම්බන්ධව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කරයි.
ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබාදීමට රජය විසින් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
භාණ්ඩාගාරයේ මුදල් වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගන්නා බවත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“පෙබරවාරි (27) වනදා ඉදලා මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය උඩ ලෝක වෙළෙදපොළේ බොරතෙල්, පිරිපහදු තෙල් මිල විටින් විට ඉහළ ගියා. අපි ඒ අවස්තාවලදී එම සමස්ත බර ජනතාව මත පටවන්නේ නැතුව ඒකට සහනයක් ලබා දෙන්න විවිධ ක්‍රම අනුගමනය කරා.
එකක් තමයි ඇත්තටම තෙල් සංස්ථා, ඉන්දියානු තෙල් සමාගම ඇතුළු තෙල් ආනයනය කරන ආයතන මේකේ කොටසක් දරා ගත්තා. ඒ වගේම රජය මාස තුනකට රුපියල් බිලියන 57ක සහනයක් ලබා දුන්නා. ඒ තෙල් මිල ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්න. ඒ අනුව තමයි ඩීසල් රුපියල් 100කුත්, පෙට්‍රල් ලීටරයකට රුපියල් 20කුත් ලබාදුන්නේ.”
” දැන් යළිත් වටයකින් මේ තෙල් මිල වැඩිවීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා. සමස්ත බරම ජනතාව මත පටවන්නේ නැතිව යම් සහනාධාරයක් රජයට ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ වෙන මුකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තිබෙන මුදල්වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස කළමනාකරණය කරගන්න.
ඒ මුදල කොතරම් ද කියලා රජයක් විදිහට තාම තීරණය කරලා නෑ. රජය හැමතිස්සෙම කල්පනා කරනවා මේ සමස්ත බර ලෝක වෙළෙඳපොලේ වැඩිවෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් ජනතාවට භාණ්ඩාගාරයෙන් ජනතාවට ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒක සියලු භාණ්ඩ හා සේවාවල මිල යම් මට්ටමක පවත්වා ගනිමින් කරගෙන යාමට උදව් උපකාර වේවි.”
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
