“කොස්මල්ලි” සහ “බඩෝවිට අසංක” සංවිධානාත්මක අපරාධ කල්ලි දෙක නියෝජනය කරන ප්‍රබල සැකකරුවන් දෙදෙනෙකු අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී (24) පස්වරුවේ ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.
“කොස්මල්ලි” පාර්ශවයේ සැකකරුවෙකු වන මධුෂ්ක රේණුක ප්‍රනාන්දු සහ “බඩෝවිට” අසංක පාර්ශවයේ සැකකරුවකු වන කරුණාලුගේ ශ්‍රීනාත් ප්‍රියශාන්ත ප්‍රනාන්දු අතර ගුටි බැට හුවමාරුව සිදුව ඇත.
කොස් මල්ලි පාර්ශවයේ අයෙකු වන මදුෂ්ක, පසුගියදා දෙහිවල සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මනුෂය ඝාතන දෙකක් සිදු කිරීමේ චෝදනාව එල්ල වූ තැනැත්තාය.
බඩෝවිට අසංක පාර්ශවයේ අයෙකු වන ශ්‍රීනාත්, 2025 වසරේ නොවැම්බර් මාසයේදී ගල්කිස්ස සිරිපාල පාරේදී පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කර ඇත.
අධිකරණ කටයුතු සඳහා ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් සිටි අවස්ථාවේදී ශ්‍රීනාත් විත්තිකූඩුවේ රඳවා සිට ඇති අතර මධුෂ්ක ඊළඟ නඩුව සඳහා විත්තිකූඩුව ආසන්නයේ තිබූ රැඳවියන්ගේ බංකුවේ වාඩි කරවා ඇත.
එම අවස්ථාවේදී විත්තිකූඩුවේ සිටි ශ්‍රීනාත් එකවරම විත්ති කූඩුවෙන් බිමට පැන බංකුවේ සිටි මධුෂ්කට දිගින් දිගටම ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරින් එක්ව ගැටුම සමතයකට පත් කර ඇත.
පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය තුළ වෙන් වෙන්ව රඳවා තැබීමට පියවර ගන්නා ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
එම ගැටුමේදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
