පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය.
තවද, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසත්, මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේ ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේය.
