නාමල්ට වෙච්ච දෙයක්.. මහේස්ත්‍රාත්ගෙන් නියෝග තුනක්

LIVE

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (30) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අධිකරණයට දැනුම් දුන්නේ, නඩුකරයට අදාළව තම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් තිබුණද, සැකකරුට තම අධිකරණයේ හමුවේ පවතින නඩුව සහ සමාන නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද විභාග වන බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ,

මෙම මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහිම සිදුවන විමර්ශන ඒකාබද්ධ කර එක් නඩුකරයක් ලෙස පවත්වාගෙන යා හැකි බව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් මේ සම්බන්ධව අධිචෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන වග තවමත් දන්වා නොමැති නිසා ඇප ලබාදීම ගැන සලකා බැලිය නොහැකියි.

නමුත් අවශ්‍ය නම් මෙම නඩුකරයද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ හැකියි. මෙම අධිකරණය මගින් ඇප ලබාදීමට බලය තිබුණද සැකකරු මෙම සිද්ධිය හා සම්බන්ධව විභාග වන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

එවන් පසුබිමක මෙම නඩුවට සැකකරුට ඇප ලබා දීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වනවා. එම නිසා ඉදිරි දින කරුණු පිලිබඳව ලිඛිතව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට නියෝග කරනවා.”

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තවදුරටත් සඳහන් කළේ,

මා පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම් තුනක් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් පනත යටතේ සිදු කරන විමර්ශන ඒකාබද්ධව සිදු කරන්නේ ද.? යන කාරණය පිළිබඳව දැනුම් දෙන ලෙසත්, මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතු ද.? යන කරුණ පිළිබඳව දැනුම් දෙන ලෙසත්,

සැකකාර නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද.? යන කාරණා සම්බන්ධයෙන් ලබන (30) වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් මා පැමිණිල්ලට නියම කරනවා.”

එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන් ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

1 Comment
Most Voted
Newest Oldest