2011 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව, ක්‍රියාන්විත රාජකාරියේදී ජීවිත පූජා කළ, අතුරුදන් වූ සහ රණක්ෂිතයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වා ඇති රණවිරුවන්ගේ දෙමාපියන්ගේ සුභසාධනය වෙනුවෙන් “මාපිය රැකවරණ දීමනාව” නමින් රුපියල් 750.00ක මාසික දීමනාවක් ගෙවීම ආරම්භ කරන ලදී.
2009 මැයි මස (19) වන දිනට පෙර ත්‍රිවිධ හමුදාවට බඳවා ගන්නා ලද රණවිරුවන්ගේ ජීවත්ව සිටින දෙමාපියන් වෙත ලබාදෙන මෙම දීමනාව, මේ වන විටද අඛණ්ඩව ගෙවනු ලබයි.
1999 අංක 54 දරන පාර්ලිමේන්තු පනත ප්‍රකාරව, රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දෙමාපියන් 32,392 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මේ වන විට ප්‍රතිලාභීන් 16,805 දෙනෙකු සක්‍රීයව දීමනාව ලබා ගනිති.
පවතින ක්‍රම වේදය අනුව, දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා දීමනා ලාභියා ජීවත්ව සිටින බව තහවුරු කරමින් අදාළ ග්‍රාම නිලධාරීවරයා විසින් සහතික කරනු ලබන “ජීවත්වීමේ සහතිකය” වසරකට වරක් රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව, සෑම වසරකම නොවැම්බර් මස (01) වන දින සිට එළඹෙන වසරේ පෙබරවාරි මස (28) වන දින දක්වා වූ කාලසීමාව තුළ අදාළ සහතිකය ලබාදිය යුතු බව දීමනා ලාභීන් වෙත දැනුම් දී ඇත.
මෙම දීමනා ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මක කරන ක්‍රම වේදයට සමාන පද්ධතියක් රණවිරු සේවා අධිකාරිය හරහා ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම නව ක්‍රම වේදය යටතේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දීමනා ලාභීන්ගේ නාමලේඛන සකස් කර ග්‍රාම නිලධාරීන් වෙත යොමු කෙරේ.
එමඟින් දීමනා ලාභීන්ගේ වත්මන් තත්ත්වය තහවුරු කර ගැනීම, මියගිය අයගේ නම් නාමලේඛනයෙන් ඉවත් කිරීම සහ ජීවත්ව සිටින අයගේ ජීවත් වීමේ සහතික ලබා ගැනීම වඩාත් පහසු වේ.
තවද, වයෝ වෘද්ධ හෝ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත පැමිණීමට අපොහොසත් වන දෙමාපියන් වෙනුවෙන්, අදාළ ග්‍රාම නිලධාරීවරයා පෞද්ගලිකවම ඔවුන්ගේ පදිංචි ස්ථානය වෙත ගොස් ජීවත්ව සිටින බව තහවුරු කර ගනිමින් සහතිකය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ද මෙයට ඇතුළත් කර ඇත.
මෙම නියමිත කාල සීමාවන්, ජීවත් වීමේ සහතිකය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම වයෝවෘද්ධ දෙමාපියන් සඳහා වන විශේෂ ක්‍රමවේදය පිළිබඳව රණවිරු දෙමාපියන් මෙමගින් දැනුවත් කෙරේ.

