වැලිගම හෝටලයකට වෙඩි තැබීම.. දේශබන්දු ඇතුළු 9කට එරෙහි නඩුව අවසන්

LIVE

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 9 දෙනෙකුට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කිරිමට මහේස්ත්‍රාත් චතුර දිසානායක තීරණය කර ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ ඉකුත් (07) වැනිදා අධිචෝදනා ගොනු කළේය.

නිතිපතිවරයා විසින් මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ ඉදිරියේ එම චෝදනා විත්තිකරුවන්ට එදින කියවා භාරදීමෙන් අනතුරුව එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප හතරක් මත ඇප මත මුදා හැරියේය.

අධිචෝදනා කියවා දීමෙන් පසු ඇප ලබාදී ඇත්තේ, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක වැඩබලන අධ්‍යක්ෂවරයා වූ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සල්ම් ද සිල්වා, පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ, පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රොෂාන් මධුරංග, පොලිස් සැරයන් ප්‍රසන්න කුමාර, පොලිස් කොස්තාපල් සුපුන් ප්‍රියශාන් සහ රියැදුරු පොලිස් කොස්තාපල් ගිහාන් පියතිස්ස යන අයටයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ අදාල මෙහෙයුමට ගිය පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර වැලිගම පොලිසියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබුණේය.

2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේය.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?