බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබාදීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබාදුන් දඬුවම් ලිහිල් කිරීම හෙවත් පොදු සමාව නීතිය හමුවේ ශුන්ය හා බලරහිත බවට ප්රකාශ කළ අධිකරණය, ඔහු මේ වනවිට නීතියෙන් පළායන්නකු බවට පත්ව ඇති බැවින් වහාම නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට බාර විය යුතු බවද අවධාරණය කර ඇත.
එලෙස නිදහස් කෙරුණු පුද්ගලයාගේ බිරිඳ වන අහමඩ් ජලීල් ෆාමිලා බේගම් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව, ආචාර්ය සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.
පෙත්සම්කාරිය සහ වගඋත්තරකරු වන මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් සමග 2005 වසරේදී විවාහ වී ඇති අතර ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින අතර පසුව ඔවුන් දික්කසාද වී ඇත.
එම විවාහය අවසන් කිරීමෙන් පසුව නැගෙනහිර කොළඹ කාති අධිකරණයෙන් 2022 වසරේ ජූනි (11) වනදා රුපියල් 60,000ක මුදලක් නඩත්තු වශයෙන් ගෙවන ලෙස වගඋත්තරකරුට නියෝග කර ඇත.
එහෙත් දිගින් දිගටම වගඋත්තරකරු විසින් එම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මීගමුව මහෙස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 1,740,000ක (මිලියන 1.7) හිඟ නඩත්තු ගෙවන ලෙස නියෝගයක් නිකුත් කර ඇත.
අනතුරුව එම නඩත්තු ගෙවීම් දිගින් දිගටම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු වගඋත්තරකරුට මීගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් මාස 29ක සිර දඬුවමක් නියම කරමින් 2024 ජූලි (19) වැනි දින බන්ධනාගාරගත කළේය.
කෙසේ වෙතත් 2024 වසරේ සැප්තැම්බර් මස (12) වැනිදා යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් එවක ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන ව්යවස්ථාව ප්රකාරව පොදු සමාව යටතේ වගඋත්තරකරු 2024 වසරේ සැප්තැම්බර් මස (12) වැනිදා නිදහස් කළේය.
නිදහස් කරන අවස්ථාව වන වගඋත්තරකරු තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමින් මාස 2ක් පමණක් ගෙවා තිබූ බවත් තීන්දුවේ සඳහන් කර ඇත.
අනතුරුව නඩත්තු නොගෙවූ දික්කසාද සැමියා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි දැනගත් පෙත්සම්කාරිය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
නිදහස ලැබූ වගඋත්තරකරු අධිකරණය හමුවේ ප්රකාශ කර තිබුණේ, තමන්ට ලබාදී තිබෙන පොදුසමාව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34(1) අ ව්යවස්ථාව යටතේ ලබා දුන් සමාවක් නොව 34(1) ඈ ව්යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් බවයි.
එහෙත් මෙලෙසම නඩත්තු නොගෙවීම මත සිරගත වී සිටි තවත් සිරකරුවකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නමැත්තා නිදහස් කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ සිර දඬුවම් කාලය සතියකින් පමණ අඩු කිරීම පමණක් අඩුකර ඇති ආකාරය පෙනී යන බව තීන්දුවේ සඳහන් වේ.
නඩුවේදී කරුණු සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ නඩත්තු පනත යටතේ නඩත්තු මුදල් අයකර ගැනීමේ ක්රමවේදය ලෙස ‘දඩයක් අයකර ගන්නා ආකාරයට’ ක්රියා කරනවා මිස, එය සැබෑ දඩ මුදලක් නොවන බවයි.
දෙදෙනාම එකම වරදකට සහ එකම නීතිමය ක්රියාවලියක් හරහා සිරගතව සිටි පුද්ගලයන් වන බැවින්, මහේස්ත්රාත්වරයා සිරගත කිරීමේ වරෙන්තුවේ යෙදූ වචනවල වෙනස මත පදනම්ව එකම තත්ත්වයේ සිටි දෙදෙනකුට අසමාන ලෙස සැලකීම කිසිදු තාර්කික පදනමක් නැති අත්තනෝමතික ක්රියාවක් බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) ව්යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව වගඋත්තරකරු වන සමාව ලැබූ පුද්ගලයාට ලබාදුන් දඬුවම් ලිහිල් කිරීම ශුන්ය හා බලරහිත වන බවත්, ඔහුගේ මුල් සිරදඬුවම එලෙසින්ම වලංගුව පවතින බැවින් මීගමුව මහේස්ත්රාත් අධිකරණයේ මුල් වරෙන්තුව යටතේ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන සිරදඬුවම ක්රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නීතිමය බලය පවතින බවත් ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
