මුහුද අයිනේ ලස්සන දුම්රිය ස්ථානයක් ජනතා පරිහරණයට

LIVE

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා දුම්රිය ස්ථාන සියයක පහසුකම් වැඩිදියුණු කර, නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය මගී ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලබාදීම අද (10) දින බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී සිදුකෙරිණ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක සහභාගීත්වයෙන් යලි මහජන භාවිතය සඳහා පත් කෙරිණ.

බම්බලපිටිය දුම්රිය ස්ථානය, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් පහසුකම් වැඩිදියුණු කිරීම සිදුකර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පොදු ප්‍රවාහන සේවා සැලසුම්කරණය යටතේ Clean Sri Lanka ලේකම් කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි.

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ Dream destination වැඩපිලිවෙල යතාර්ථයක් කරමින් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීම යටතේ ප්‍රධාන ගොඩනැගිල්ල, වේදිකා අංක 01 සහ 02, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලි හා ජල පහසුකම් විධිමත් කිරීම, ආරක්ෂිත කැමරා පද්ධති, මහාමාර්ගය හා දුම්රිය මාර්ගය අතර ගුවන් පාලම අලුතෙන් ඉදිකිරීම, ආපනශාලාව ඇතුලු දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සියලු යටිතල පහසුකම් නවීකරණය කර ඇත.

මේ සඳහා රුපියල් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇති අතර එය මෙරට සිටින බෝරා ප්‍රජාවගේ දායකත්වයෙන් ලබාදී ඇත.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය මගින් මේ වනවිට තල්පේ, නාරාහේන්පිට, මරදාන සහ පොලොන්නරුව දුම්රිය ස්ථානයන් පෞද්ගලික අංශයේ මූල්‍ය ප්‍රතිපාදන වැයකර, නවීන පහසුකම් සහිතව සංවර්ධනය කර ජනතා පරිහරණයට පවරා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?