Local news

සලේගේ අභියෝග පෙත්සමට අතරමැදි පෙත්සම්

සලේගේ අභියෝග පෙත්සමට අතරමැදි පෙත්සම්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන (22) වැනිදා දක්වා කල් තබා ඇත.

අදාළ නියෝගය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී ඇත්තේ එය ලබන (22) වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළේය.

සමාජ මාධ්‍ය ගැන දැඩි නීතිමය ක්‍රියාමාර්ග

සමාජ මාධ්‍ය ගැන දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය හා තහවුරු නොකරන ලද සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

පරිඝනක අපරාධ පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙවැනි වරදකරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුඩ්ලර් සඳහන් කරයි.

මෙවැනි අසත්‍ය හා තහවුරු නොකළ ප්‍රචාර වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුඩ්ලර් ජනතාවට දැනුම් දෙයි.

ශිරන්ති වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්ති වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්

රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇත.

ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි ප්‍රතිකාර තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇත.

අධිකරණය මගින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, මුලින් ඇති වූ අක්ෂි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික අක්ෂි රෝහලටත්, පසුව බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් ඇතුළත් කළේය.

කෙසේ වෙතත් සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

නාමල්ට නියෝගයක්.. ජාත්‍යන්තර රතු නිවේදන

නාමල්ට නියෝගයක්.. ජාත්‍යන්තර රතු නිවේදන

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද (14) දින අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (14) දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.

නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියොමාලි සහ තෙවන සැකකාර ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත් ඒ ඔස්සේ ක්‍රියාකරමින් සිටින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් (18) වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.

අනතුරුව අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නඩු විභාගයෙන් අනතුරුව නැවතත් බන්ධනාගාරය බලා පිටව ගියේය.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම – ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම – ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

අදාළ පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුව මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය. 

ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල නම් කර ඇත.

ලංකාවටම අවවාදාත්මක නිවේදනයක්

ලංකාවටම අවවාදාත්මක නිවේදනයක්

අද (14) දින දිවයිනේ සියලුම පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, දිවයින පුරා බොහෝ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි

අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි

සෞදි අරාබියේ සිටින අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙය තහවුරු කරයි.

ඊයේ (13) දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මැතිවරණ නීති සංශෝධනය – කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ නීති සංශෝධනය – කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.

මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න වෙත භාර දෙන ලදී.

ඒ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව ඒවා සම්බන්ධයෙන් ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි.

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් එම කමිටුවේ සාමාජිකයන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න, යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාරදී ඇති බව පැවසුවේය.

මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබාදී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.

බන්ධනාගාර ආඥා පනතේ සංශෝධන කමිටු වාර්තාව ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනතේ සංශෝධන කමිටු වාර්තාව ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තාව අද (14) දින ජනාධිපති ලේකම්වරයාට ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර සඳහන් කරයි.

බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ සඳහන් රෙගුලාසි හා නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවලදී පැවැත්විණ.

ඒ අනුව බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි.

එහි සෙසු සාමාජිකයින් වන්නේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායකයි.

බැසිල්ව කුදලාගෙන එන්න රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්

බැසිල්ව කුදලාගෙන එන්න රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියා කිරීම සදහා රතු නිවේදනයන් ලබාගැනීම සඳහා වරෙන්තුව ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේය.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය එම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණේය.

Follow WhatsApp Channel