Local news

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුව – පූර්ව නඩු විභාගය

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුව – පූර්ව නඩු විභාගය

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (17) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා ඇත.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කර ඇත.

සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනුකර ඇත. 

සුවිශේෂි හේතු සොයා ශිරන්ති මවුන්ට් එලිසබෙත් රෝහලට

සුවිශේෂි හේතු සොයා ශිරන්ති මවුන්ට් එලිසබෙත් රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂට විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ හදිසියේම ඊයේ (16) දින සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශිරන්ති රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම පැමිණ FCIDය වෙත කැඳවීමේ ලිපිය ගෙනැවිත් භාරදුන් බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් සඳහන් කරයි.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙසට පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

අවශ්‍ය වුවහොත් මහින්ද ඇදක තියාගෙන හරි වේදිකාවට ගේනවා

අවශ්‍ය වුවහොත් මහින්ද ඇදක තියාගෙන හරි වේදිකාවට ගේනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ප්‍රවාහයේ පරමාදර්ශී නායකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටින තාක් කල්, අවශ්‍ය වුවහොත් රෝද පුටුවෙන් හෝ ඔහුව දේශපාලන වේදිකාවට රැගෙන විත් ජනතාවට පෙන්වීමට කටයුතු කරන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ජනතාව සැමවිටම සැබෑ නායකයන් දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බැවින්, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඇඳක තබාගෙන හෝ එතුමාව ජනතාව හමුවට පමුණුවන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කරයි.

වර්ජනය අරඹයි.. එහෙත් ධාවනය සාමාන්‍ය පරිදි

වර්ජනය අරඹයි.. එහෙත් ධාවනය සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වනවිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (16) දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩවර්ජනයක් මෙලෙස ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙම වර්ජනය ක්‍රියාත්මක වුවද සියලුම කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක් දුම්රියක් හැර අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කරයි. 

‘සිරිලිය සවිය’ සිදුව ඇතැයි කියන ප්‍රධාන දූෂිත ගනුදෙනු කිහිපය

‘සිරිලිය සවිය’ සිදුව ඇතැයි කියන ප්‍රධාන දූෂිත ගනුදෙනු කිහිපය

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සභාපති ධූරය දැරූ සිරිලිය සවිය සංවිධානයේ සිදුව ඇතැයි කියන දූෂිත ගනුදෙනු වලට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 2015 වසරේ සිට මෙම විමර්ශනය ක්‍රියාත්මක වුවද, පසුගිය කාලයේදී එහි ලිපිගොනු විවිධ ස්ථානවල සිරවී තිබුණද, යළිත් ආරම්භ කර ඇති මෙම විමර්ශනයේදී අවධානයට ලක්ව ඇති ප්‍රධාන ගණුදෙනු කිහිපයකි.

*රාජ්‍ය ආයතන විසින් සිරිලිය සවිය සංවිධානයට මුදල් බැර කිරීම,

*බදු නිදහස් කරමින් සිරිලිය සවිය සංවිධානයට වාහන ආනයනය කිරීම,

*සිරිලිය සවියේ වාහන සීඑස්එන් (CSN) ආයතනය භාවිත කිරීම,

*රිජ්වේ ආර්යා ළමා රෝහල සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ආධාර රැස් කිරීම සහ එම මුදල් වැය කිරීම,

*ඒඩ්ස් මර්දන වැඩසටහන් සඳහා ආධාර ලබාගැනීම සහ එම මුදල් වැය කිරීම,

*සිරිලිය සවිය සංවිධානයේ භාණ්ඩාගාරිකගේ ලිපිනය ලෙස දක්වා ඇති ශිරන්ති රාජපක්ෂට අයත් බව කියන කොළඹ නිවසක් පිළිබඳව විමර්ශනය,

*ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222V යනුවෙන් අංකයක් සඳහන් කරමින් ආරම්භ කළ බැංකු ගිණුමක් සම්බන්ධව විමර්ශනය,

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ඇප ගන්න නීති වෙනස් වෙයි

මත්ද්‍රව්‍ය සඳහා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට මහාධිකරණය මගින් ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදුකරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

එම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තවද එම සංශෝධන ගෙන එන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් දීර්ඝ කාලයක් සැකකරුවන් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි

විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සම්බන්ධ නඩුව (15) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.

ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”

ජාත්‍යන්තර සහායෙන් නාමල්ගේ රහසිගත ඊමේල් පණිවිඩ සොයාගනී

ජාත්‍යන්තර සහායෙන් නාමල්ගේ රහසිගත ඊමේල් පණිවිඩ සොයාගනී

එයාර් බස් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇත.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව මෙම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“මේ සැකකරුගෙන් සඳුදා දින බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදුකළා. ස්වාමීනී., මේ විමර්ශනය ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම සමග ඇති කරගත් ගිවිසුම අනුව පුළුල් බඳ සහිත ගුවන් යානා 16ක් ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනයක්.

ඒ අනුව මේ විමර්ශනයට අදාළව අල්ලස් පනත යටතේ වෙනම විමර්ශනයත් සිදු කෙරෙනවා. ඒ නඩුවට අදාළව මේ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ. මේ අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ.

ඒකට හේතුව ස්වාමිනී., මීට පෙර අල්ලස් පනත යටතේ මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට බලයක් තිබුණේ නෑ. නමුත් දැන් නව දූෂණ වීරෝධි පනත අනුව ඒ බලයද අල්ලස් කොමිසමට හිමි වෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම එක්ව සිදු කරන විමර්ශනයක් ස්වාමීනී මේක.”

මෙම ගනුදෙනුවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබාදුන් බව ව්‍යපාරික නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,

“ස්වාමීනි., මේ ප්‍රශ්ණගත එයාර් බස් ගනුදෙනුවේදී එයාර් බස් සමාගමෙන් යුරෝ මිලියන 1.454ක් අල්ලස් ලෙස ලබාදී තිබෙනවා. ඒ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට.

ඇයට අයිති සිංගප්පූරුවේ ස්ටෑන්ටඩ් චාර්ටඩ් බැංකුවේ බිස් සොලුයුෂන්ස් අයිඑන්සී නම් ගිණුමකට තමා මේ මුදල් පළමුව බැර වෙන්නේ. එම ගිණුමෙන් නිමල් පෙරේරා යන අය සභාපතිත්වය දරණ සේබර් විෂන් හෝල්ඩින් ලිමිටඩ් සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි ඕසීබීසී බැංකුවේ ඇති ගිණුමකට මුදල් තැන්පත් වී තිබෙනවා.

මේ නිමල් පෙරේරා කියන පුද්ගලයා තමන්ට මරණ තර්ජන පවතින බැවින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් බිස් සොලුයුෂන්ස් නමින් ඇති ගිණුමේ සිට ඔහුට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ ගිණුමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එනවා කියනවා.

මේ මුදල තමා ස්වාමීනි මේ සැකකරුට ලැබෙන්නේ. ඒ කියන්නේ, ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් මේ සැකකාර නාමල්ට දුන් බව නිමල් පෙරේරා ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස් සොලුයුෂන්ස් සිංගප්පූරු සමාගමෙන් යුරෝ එක්ලක්ෂ හැට දහස් හාරසියක මුදලක් එවකට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යවලා. මේ සියල්ල විමර්ශකයින් හට විමර්ශන වලදී අනාවරණය වු කරුණු.”

මෙම සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහාය ඇතිව සිදුකළ වෝහාරික පරීක්ෂණයේදී නාමල් රාජපක්ෂ එයාර් බස් සමාගම සමග සිදුකළ ගනුදෙනු හා සම්බන්ධව ඊමේල් පණිවිඩ සොයාගෙන ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ,

“ස්වාමීනි., එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ඇවිත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබාදීලා තිබෙනවා මේ සිද්ධියට අදාලව. මේ සම්බන්ධව කළ වෝහාරික පරීක්ෂණයේදී එයාර් බස් සමාගම හා මේ සැකකරු හුවමාරු කර ගත් ඊමේල් පණිවිඩ සොයා ගැනීමට හැකි වුණා. එම ඊමේල් පණිවිඩ මඟින් මේ සැකකරු ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය වී තිබෙනවා.”

“මේ නඩුවේ පළමු සැකකරු මිය ගිහින්. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද එසේත් නැත්නම් ස්වභාවික මරණයක්ද කියා තවම විමර්ශනය කරනවා. ඔහුගේ බිරිඳ දෙවන සැකකාරීය ප්‍රියංකා නියෝමාලි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවේ ඉන්නවා. ඔහුට රතු වරෙන්තු නිකුත් කර තිබෙන්නේ. ඔහු ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ නඩුවේ සැකකරුවන් සම්බන්ධව මේ ආකාරයේ තත්ත්වයක් තමා තියෙන්නේ.

නඩුවේ සාක්ෂිකරුවන් ජීවිත තර්ජන තියෙනවා කියලා බයෙන් ඉන්නවා සාක්ෂි දෙන්න එන්න. එම නිසා ස්වාමීනි මේ අවස්ථාවේ මේ සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධ වෙනවා.”

අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“මාගේ සේවාදායකයා ශ්‍රී ලංකාව තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නිරතවන දේශපාලඥයෙක්. ඉතින් විදේශගත වෙලා දේශපාලනය කරන්න බෑනේ ස්වාමීනී. මොලේ තියෙනවා නම් ලංකාවේ ඉදන් තමා ඉතිං දේශපාලනය කරන්න ඕනේ.

ඒ නිසා මගේ සේවාදායකයාට දිවයිනෙන් පිටව යන්න අවදානමක් තියෙනවා කියලා පැමිණිල්ල කියන කාරණය මන:කල්පිත අදහසක් විතරයි. තවද පැමිණිල්ල විසින් මාගේ සේවාදායකයාට ඇප ලැබුණු පසු සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි කියලා කියනවා. ස්වාමීනි මගේ සේවාදායකයා අමාරුවෙන් ඇප අරගෙන එළියට ගිහින් ඇප කාරයන්ට බලපෑම් කරයිද.?

මෝඩයෙක් නෙමෙයිනේ ඒ වගේ දෙයක් කරන්න. ඔබතුමාගේ අධිකරණයෙන් ඇප පුදානය වුණොත් ඇප ලැබුණු පසුව අපි ගිහිල්ලා සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නැහැ ස්වාමිනී. මොකද අපි දන්නවනේ එහෙම කරොත් අපට ලැබිලා තියෙන ඇප කොන්දේසි අවලංගු වෙලා ආයි අපට රක්ෂිත බන්ධනාගාර ගතවෙන්න වෙනවා කියලා.”

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් (23) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධව යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර ඇත.

අවුරුදු 13ත් 15ත් අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ “Mini Accounts” හරහා පමණක් බවද ඇය සඳහන් කළාය.

ළමයින් අන්තර්ජාලයේ ඇති දැඩි ඇබ්බැහි කරවන විශේෂාංග, නරක අන්තර්ගතයන් සහ AI මගින් සාදන අසභ්‍ය ඡායාරූප වැනි අන්තරායන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන කිහිපයක් මෙම කෙටුම්පතෙන් යෝජනා කර ඇති අතර මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

✕
⌃ News
📰 Free News Subscription?