Local news

රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

වාර්ෂිකව පැවැත්වෙන රණවිරු ගුණ අනුස්මරණ පොපි මල් සැමරුම් උත්සවය නොවැම්බර් මස (08) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කරයි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය කේන්ද්‍ර කරගනිමින් වසර 82ක් පුරා මෙම රණවිරු ගුණ අනුස්මරණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

ඊට සමගාමීව ඔක්තෝබර් මස (17) වැනි සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර පිටියේ සිට විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය දක්වා සංකේතාත්මක පොපි පාගමනක් පැවැත්වීමට නියමිත බවද ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

සරණගේ තවත් අල්ලස් නඩුවකට තහනමක්

සරණගේ තවත් අල්ලස් නඩුවකට තහනමක්

සිරදඬුවම් නියම වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය අංක 11 අධිකරණයේ විභාග වන තවත් අල්ලස් නඩුවකට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

සරණ ගුණවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (14) දින මෙම නියෝගය නිකුත් කර ඇත.

බන්ධනාගාරගත භික්ෂූන්ට එළියට වැඩම කිරීමේදී චීවරය දැරීමට අවසර

බන්ධනාගාරගත භික්ෂූන්ට එළියට වැඩම කිරීමේදී චීවරය දැරීමට අවසර

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේ නමක් එම බන්ධනාගාරයෙන් බැහැරට වැඩම කරවන්නේ නම්, උන්වහන්සේට චීවරය පැළඳ සිටීමට අවසර ලබාදීමට කමිටු නිර්දේශ ලැබී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙස නිල වශයෙන් දැනුම් දෙනතුරු එම අයිතිය නොවෙනස්ව පවතින පරිදි බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්‍ය නියෝග ‘356’වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇත.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 ‘අ’ ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය සිරකරු ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබේ බන්ධනාගාර කොමසාරිස්ට.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකුරුවෙකු වුණොත් මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස් කරගමින් එයට අදළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතු වෙලා සංශෝධනයක් එනවා.

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් එළියට රැගෙන යනවා නම් එවන් අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා.“

කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් පහළට

කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් පහළට

අද (14) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 281.42කින් පහත වැටී, දිනයේ ගනුදෙනු ඒකක 19,796.06ක් ලෙස සටහන් වී ඇත.

පසුගිය 2025 වසරේ අගෝස්තු (14) වැනිදායින් පසු පළමුවරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට වැටී ඇත.

ඒ අනුව අද දින සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.92ක් ලෙස සටහන් වී ඇත.

අනෝජන්ගේ මරණ දඬුවම අහෝසියි.. ජනපතිගෙන් ‘X’ සටහනක්

අනෝජන්ගේ මරණ දඬුවම අහෝසියි.. ජනපතිගෙන් ‘X’ සටහනක්

මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියට ලබාදීමට රජය සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට රජය සමාව අයැද සිටිය යුතුයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට රජය සමාව අයැද සිටිය යුතුයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව රජය විසින් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන් බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුව කලින්ම කප් ගහයි

ශ්‍රී ලංකා රේගුව කලින්ම කප් ගහයි

2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇත.

මුදල් අමාත්‍යංශය මඟින් 2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස (13) වැනිදා වනවිට රේගු ආදායම රුපියල් බිලියන 2,2208කි.

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති.. විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට

බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති.. විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට

බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙනු ලැබීය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය (08) වෙනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි මෙම කමිටුව පත් කරන ලද අතර, අදාළ කරුණු අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම කමිටුවට පැවරිණි.

ඒ අනුව, භික්ෂුන්වහන්සේ සහ අනෙකුත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී බලපානු ලබන රෙගුලාසිවලට අදාළ සංශෝධිත යෝජනා මෙසේ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ලක්ෂ ගණනක මුදල් අයථා පරිහරණය.. චාමරට තවත් නඩුවක්

ලක්ෂ ගණනක මුදල් අයථා පරිහරණය.. චාමරට තවත් නඩුවක්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති තවත් නඩුවක් (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් බෙදාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා පරිහරණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි බදුල්ල රාජ්‍ය බැංක ශාඛාවක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත.

අනතුරුව එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ලබන නොවැම්බර් මස (04) වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

සලේගේ අභියෝග පෙත්සමට අතරමැදි පෙත්සම්

සලේගේ අභියෝග පෙත්සමට අතරමැදි පෙත්සම්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන (22) වැනිදා දක්වා කල් තබා ඇත.

අදාළ නියෝගය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී ඇත්තේ එය ලබන (22) වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළේය.

Follow WhatsApp Channel