Local news

බැසිල්ව කුදලාගෙන එන්න රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්

බැසිල්ව කුදලාගෙන එන්න රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියා කිරීම සදහා රතු නිවේදනයන් ලබාගැනීම සඳහා වරෙන්තුව ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේය.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය එම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණේය.

අධිකරණයට අපහාස කළ කෙ⁣හෙළිය ඇතුළු පිරිසට එරෙහිව කටයුතු කරන්නැයි පෙත්සමක්

අධිකරණයට අපහාස කළ කෙ⁣හෙළිය ඇතුළු පිරිසට එරෙහිව කටයුතු කරන්නැයි පෙත්සමක්

අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය විසින් රුපියල් මිලියන 50 බැගින් රජය වෙත වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස (27) වනදා තීන්දුවක් ලබාදී තිබුණි.

ඒ අනුව අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබූ අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

තාත්තයි, අම්මයි දෙන්නම රෝහලේ.. පවුලේ වැඩිමහල් පුත්‍රයා නාමල් ඇතුලේ

තාත්තයි, අම්මයි දෙන්නම රෝහලේ.. පවුලේ වැඩිමහල් පුත්‍රයා නාමල් ඇතුලේ

අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන දෙකටම අදාළ ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනුකර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව කැඳවීමට අගවිනිසුරුවරයාගෙන් විමසීමට කටයුතු කරන බවයි.

නඩුව කැඳවු අවස්තාවේදි නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඇප ඉල්ලීමක් කළේය.

“ස්වාමීනි., පැමිණිල්ල මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අද ප්‍රකාශ කරනවා. ඒ වගේම පැමිණිල්ල දැන් අධිචෝදනා ගොනු කරන්න සූදානම් බවත් කියනවා. එය සැකකරුට ඇප ලබාදීමට සුවිශේෂී කරුණක් ලෙස සලකා බලන්න පුළුවන්.

තවද සැකකරුගේ මවයි, පියයි දෙන්නම දැන් රෝහල් ගත කරලා ඉන්නේ. පියා පුද්ගලික රෝහලකත්, මව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබනවා කියලා මා හට දැන ගැනිමට ලැබුණා.

මවට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට තිබෙන බවද මට දැන ගැනීමට ලැබුණා. මොහු මේ පවුලේ වැඩිමහල් පුත්‍රයා. මේ වගේ අවස්ථාවක එයද සුවිශේෂි කරුණක් ලෙස සලකා සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන (27) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශය පණ්ඩිත ප්‍රකාශයක්

ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශය පණ්ඩිත ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා සිදුකළ ප්‍රකාශය පණ්ඩිත ප්‍රකාශයක් බව, සමගි ජන බලවේගයේ හවුල්කාර පාර්ශවයක් වන දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරයි.

මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ,

“ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශය පණ්ඩිත ප්‍රකාශයක්. ඔහු සුළු ජාතියක් සහ මහ ජාතියක් ලෙස හඳුන්වලා කථා කළා. මේ වගේ ප්‍රකාශ දැන් යල් පැනගිය ප්‍රකාශ. ජනාධිපතිවරයා කමිටුවක් පත්කරලා සති දෙකෙන් විසඳුමක් දෙනව කියල තියෙනවා.

ඒක ආණ්ඩුවයි ඒ ඒ නිකායන් ඇතුළත් පාර්ශවයන් බලා ගනියි. මේක මුල්කරගෙන දෙමළ කතාකරන ජනතාව මේවට සම්බන්ධ කරලා පොදු ස්ථානවල කතාකරන්න එපා කියලා මම වගකීමෙන් ඉල්ලනවා. අන්තිමට මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා. මම මගේ අත්දැකීමෙන් දන්නවා.”

ශිරන්තිගේ “ඇස්” රංගනයක්.. සිරිලිය කළු සල්ලි සුදු කරයි

ශිරන්තිගේ “ඇස්” රංගනයක්.. සිරිලිය කළු සල්ලි සුදු කරයි

රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට සහ රාජ්‍ය බැංකුවක හිටපු සභාපති ප්‍රදිප් කාරියවසම්ට එරෙහි චෝදනා එල්ල වී ඇත.

මෙම “සිරිලිය සවිය” කළු සල්ලි සුදු කිරීමට යොදාගත් සංවිධානයක් බව අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කරයි.

නඩුව කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“පළමු සැකකරු 2010 වසරේ 12යි (08) මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ අවස්ථාවේදී පැමිණි එකගතාවක් අනුව මිලියන 10ක් දෙන්න තීරණය වෙලා තිබෙනවා. 2010 වසරේ 12යි (30) මුදල අනුමත කරලා තියෙනවා.

මේ කාලය අතරතුරදී පසු අවස්ථාවක 2011 වසරේ 05 යි (04) වැනිදා දෙවන සැකකාරිය මේ මුදල කාල්ටන් සුව උදාන ගිණුමට නැතුව ලංකා බැංකුවේ මරදාන ශාඛාවේ තියෙන ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කරන ලෙස පළමු සැකකරුට කියා තිබෙනවා.

නමුත් ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තිබුණේ නැහැ. එහෙත් පළමු සැකකරු ෆස්ට් ලේඩි ඉල්ලීම කර තිබෙන්නේ බව පවසමින් අදාල මුදල් සිරිලිය සවිය ගිණුමට බැර කිරීමට කටයුතු කරනවා.”

“චීන රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලද ඒම්.ආර්.අයි (MRI) ස්කෑන් යන්ත්‍රය සිරිලිය සවිය සංවිධානයෙන් කරන ලද පරිත්‍යාගයක් ලෙස රෝහලට ලබාදීමට කටයුතු කරලා. ඒ අවස්ථාවට මේ පළමු සැකකරුටත් ආරාධනා ලැබිලා තියෙනවා.

දෙවන සැකකාරියගේ දරුවකුගේ උපන්දිනයක් දවසේ තමා මේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. මෙම ස්කෑන් යන්ත්‍රය චීන රජයෙන් ලද ආධාරයක් බව රීජ්ජේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රාජමන්ත්‍රී සහ වෛද්‍ය රත්නසිරි ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙනවා.”

“මේ ගිණුම 2006 වසරේ ශිරන්ති නවෝදය ලෙස තමා ආරම්භ වන්නේ. ඉන් මාස 03කට පසුව සිරිලිය සවිය ලෙස නම වෙනස් කර තිබෙනවා. මේ සංවිධානය විධිමත්ව ලියාපදිංචි කරලා නැහැ. කිසිම වාර්තාවක් නිළ වශයෙන් ඉදිරිපත් කරලත් නැහැ.

නමුත් රාජ්‍ය ලාංඡනය යොදාගෙන රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය භාවිත කරමින් ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ලෙස තමා ලිපි ශීර්ෂ යොමු කරමින් මේ දේවල් කරලා තියෙන්නේ.”

අනතුරුව ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“සැකකාරිය හෘද රෝගි තත්ත්වයෙන් ඉන්නේ. ඊයේ රාත්‍රියේ හෘද රෝගි තත්ත්වය උත්සන්න වෙලා ඇයව ජාතික රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ මේ වනවිට. මේ වෙද්දි ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ. එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ගුවන්තොටුපොලෙන් පිටතට එද්දි ඇය කිසිම රෝගි තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය වන්නේ නෑ. ඇස් වහගෙන ආවෙත් නෑ. ගුවන් තොටුපලෙන් එළියට. නමුත් අපි අත්අඩංගුවට ගන්න යද්දි ඇස් සැත්කමක් කළා කියලා, හරිද වැරදිද මන්දා ඇහක් වහන් හිටියා. මේ සිදුවීම් මාලාව “රංගනයක්” ස්වාමීනි.”

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

එම අවස්තාවේදි ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“ස්වාමිනී., මං කලින් කිව්ව එක වෙනස් කරගන්නවා. මට දැන් උපදෙස් ලැබෙනවා සැත්කම මේ අවස්ථාවේ සිදු කරන්නේ නෑ. නමුත් සැකකාරියට සැත්කමක් සිදු කිරීමට නියමිතයි කියලා.“

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම සඳහන් කළේ,

“එම වාර්තාවේ හෘද සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශ සටහන්ව නෑ. එන්ජිඕ ග්‍රැම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට නිර්දේශ තිබෙනවා. ඒ වගේම වාර්තාවේ සැකකාරියගේ රෝගී තත්ත්වයන් ගැන සදහන් කරලා තියෙනවා. ප‍්‍රතිකාර නොකලොත් ජීවිතයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා.

එම නිසා අධිකරණයට රැගෙන ඒමට නොහැකි බවත් සදහන් කරලා තියෙනවා. මට අවශ්‍ය නැහැ කවුරුත් බන්ධනාගාරයේ තබන්න. නමුත් ප්‍රමාණවත් සුවිශේෂ කරුණු අවශ්‍යයි ඇප ලබා දීමට. සැකාරියට අවශ්‍ය ප්‍රතිකාර මොනවාද යන්න වෛද්‍ය මණ්ඩලය අද සවස රැස් වී සාකච්ඡා කරන බව වාර්තාවේ සඳහන්. එම නිසා මේ අවස්ථාවේ ඇප ලබාදීමට සුවිශේෂී තත්ත්වයක් නෑ සැකකාරියට.”

අනතුරුව ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වෙලා

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වෙලා

රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

මොරටුවේ පැවති රැස්වීමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“ඇත්තම කියනවා නම් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මොකද විවිධ කණ්ඩායම් ජාතීන් හෝ වේවා ආගම් හෝ වේවා තර්ක විතර්ක කරගෙන.

එකිනෙකාට යෝජනා කරනවා. චෝදනා කරනවා. බැනගන්නවා. සමගිය නැති වෙනවා. අසමගිය ව්‍යාප්ත වෙනවා. මේක ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක්.”

යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

යෝෂිතගේ නඩුවට දුන් නියෝගය

නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන (28) වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම ක‍ෙළේය.

මෙම නඩුකරය අද (13) කොළඹ මහාධිකරණය විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තමන් විසින් ඉල්ලා සිටි ලේඛන වලින් කොටසක් පමණක් ලැබී තිබෙන බවත් ඉතිරි ලේඛන පැමිණිල්ල විසින් ලබාදී නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් විනිසුරුවරයා, මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් මේ මස (28) වනදා කැඳවන ලෙස නියම කළේය.

පුද්ගලයින් 5ක් ඝාතනය කළ පිල්ලෙයාන්ට දුන් නියෝගය

පුද්ගලයින් 5ක් ඝාතනය කළ පිල්ලෙයාන්ට දුන් නියෝගය

2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි ප්‍රදේශයේදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතීවු කරෙයියක්කන්තීවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව අද (13) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.

අදාළ නඩුව අද (13) විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන (27) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ලන්ඩන් නුවර සිටින මොහොමඩ් පායිස් නැමැති සැකකරුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළාය.

අද (13) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් අන්නාතුරෙයි තෂ්ෂිණී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම නියෝගය කර ඇත.

මෙම ඝාතන සිදුවීම්වලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි හමුදා බුද්ධි තොරතුරුකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්තේය.

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීම

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීම

පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව, 2027 වර්ෂය සඳහා එම වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල ළමුන් 1,000,000ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6,000/-ක පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ඍජුව ප්‍රේෂණය කිරීමටත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනා ගත් ළමුන් 500,000ක් සඳහා රුපියල් 6,000/-ක් වටිනා වචුචර්පත් ඉහත වැඩසටහන යටතේ හිමිගන්වනු ලැබීමටත් අවශ්‍ය පියවර ගනු ලබන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

ලිට්‍රෝ ගෑස් සමාගම ගැන රජය ගත් තීරණය

ලිට්‍රෝ ගෑස් සමාගම ගැන රජය ගත් තීරණය

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක ප්‍රමාණයක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s OQ Trading Limited වෙත 2027-01-01 වන දින සිට මාස 12ක කාලයක් සඳහා, එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (±20%)ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව (අවම වශයෙන් මෙට්‍රික්ටොන් 336,000ක සහතික කළ ප්‍රමාණයක් සහිතව) සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිල + මෙට්‍රික්ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93ක මුළු වටිනාකමකට (රක්ෂණය, ගැල්කුලී සහිත (CIF) මිලකට) ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Follow WhatsApp Channel