Local news

යෝෂිත වෙනුවෙන් බොරු සාක්ෂි දුන් අයෙකුට වැඩ වරදී

යෝෂිත වෙනුවෙන් බොරු සාක්ෂි දුන් අයෙකුට වැඩ වරදී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ, බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (10) දින කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අද (10) දින මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවකු පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබාදෙන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ අවධානයට යොමු කළේය.

ඒ අනුව මෙම සාක්ෂිකරුට එරෙහිව, බොරු සාක්ෂි ලබාදීමේ චෝදනා යටතේ පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන් අතර අනතුරුව එම සාක්ෂිකරු ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.

මගී ප්‍රවාහන නෞකාවක් හදිසියේම ගිනිගනී.. විශාල පිරිසක් අතුරුදන්

මගී ප්‍රවාහන නෞකාවක් හදිසියේම ගිනිගනී.. විශාල පිරිසක් අතුරුදන්

පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 87 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනප්‍රිය ස්ථානයක් වන කොරොන් වෙත මගීන් සහ කාර්ය මණ්ඩලය 134 දෙනෙකු රැගෙන යමින් සිටියදී MV June Aster නම් මෙම නෞකාව ගිනි ගැනීමට ලක්ව ඇත.

ගින්න හේතුවෙන් මියගිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු මේ වනවිට ගොඩබිමට ගෙනැවිත් ඇති බව පිලිපීන වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කරයි.

මෙම නෞකාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එය තවමත් ගිනි ගන්නා බව වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කරයි.

මගීන් 38 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 42 දෙනෙකු මේ වන විටත් බේරාගෙන ඇති අතර තවමත් 87 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව සඳහන් කරයි.

අපිට බන්ධනාගාර පෙන්නලා රැළිය නවත්වන්න බෑ.. දහස් ගාණක් එනවා

අපිට බන්ධනාගාර පෙන්නලා රැළිය නවත්වන්න බෑ.. දහස් ගාණක් එනවා

බොරුව, වංචාව, හොරකමට එරෙහිව මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණනක පිරිසක් අනුරාධපුරය රැළියට එකතු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුව විපක්ෂය මර්දනය කරලා සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා පිට්ටනියක් ලබාදුන්නේ නැති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි ආණ්ඩුවට කියන්නේ. අපි අනුරාධපුර රැස්වීම කරනවා. මේ ආණ්ඩුවේ බොරුව, මේ ආණ්ඩුවේ වංචාවල්, මේ ආණ්ඩුවේ හොරකම් වලට විරුද්ධව අද අනුරාධපුරයට මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණක පිරිසක් එකතු වෙනවා.

ඒ ජන සටන අතාරින්නේ නෑ මේ මර්දනයට බයවෙලා. ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා ආණ්ඩුවේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා,

ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ අපිට. ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ. අපි ඉල්ලපු ග්‍රවුන්ඩ් එක දෙන්නෑ. ඉතින් ඔබතුමාලා හිතනවා නම් ඔය මර්දනයෙන් මේ ජන සටන නවත්වන්න පුළුවන් කියලා, ජනතාවගේ නැගිටීම නවත්වන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.

මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා ජනාධිපතිතුමා බලන්න කානු දිගේ එනවලු. අර ආපු ගැරඩියද දන්නෑ. කිරි වලින් නාවනවලු. ඉතින් ඒ හින්දා ඔබතුමාලා කානු දිගේ බලන් ඉන්න ගැරඩි එයි. මම තව කියන්න ගියොත් තව මොනවා කටින් පනීද දන්නෑ.”

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට ගෙන ඇත.

එම නගර සභාවේ සිදුවූ මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා සහ ලිපිකරුවන්ගෙන් සිදු කරන ලද විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවටගත් හිටපු නගරාධිපතිවරයා අද (10) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

22 ගැන විවාදයට දින නියම කරයි

22 ගැන විවාදයට දින නියම කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් (24) සහ (25) යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙකෙහි දෙවනවර කියවීමේ විවාදය එදිනට පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (10) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ගිනිඅවි නඩුව – දුමින්ද දිසානායකට අධිචෝදනා

ගිනිඅවි නඩුව – දුමින්ද දිසානායකට අධිචෝදනා

රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී ඇත.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව අද (10) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීම සිදුවුණි.

කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි.. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණද, එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණි.

මහින්ද සහ මෛත්‍රීගේ කාලයේ ගල්අඟුරු පාඩුව රුපියල් කෝටි 414යි

මහින්ද සහ මෛත්‍රීගේ කාලයේ ගල්අඟුරු පාඩුව රුපියල් කෝටි 414යි

පසුගිය 2009 වසරේ සිට 2016 වසර දක්වා වූ වසර 7ක කාලයේදී ලංකා ගල්අඟුරු සමාගම නොරොචෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි පසුගිය 2009 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී ලංකා ගල් අඟුරු සමාගම කළ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් මෙම විශේෂ විගණන වාර්තාව සකස් කර ඇත.

රුපියල් කෝටි 414 කට අධික පාඩුවට වගකිව යුතු නිලධාරීන් හඳුනාගත යුතු බවත් ඉදිරියේදී මෙවැනි පාඩුවක්, අතිරේක වියදම් සහ ආදායම් අහිමිවීම් ඇති නොවන පරිදි ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව විගණකාධිපතිවරයා මෙම විශේෂ වාර්තාවෙන් නිගමනය කර ඇත.

ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් ඇතිවූ අමතර වියදම සම්බන්ධයෙන් විගණන වාර්තාවෙන් දැඩි අවධානයක් යොමුකර ඇත.

ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා වැයවූ අමතර වියදම රුපියල් කෝටි 1,250ක් බව අමාත්‍යාංශ ලේකම්වරයා ගණනය කර තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

නීතිවිරෝධීව ඩොලර් මිලියන 80ක් පැන්නූ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඩොලර් මිලියන 80ක් පැන්නූ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 80ක් විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2023 සහ 2025 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 80 හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදල එලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු මරදාන ප්‍රදේශයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිග් යානා ගණුදෙනුව – හිටපු ගුවන් හමුදාපති FCID කැඳවයි

මිග් යානා ගණුදෙනුව – හිටපු ගුවන් හමුදාපති FCID කැඳවයි

ආන්දෝලනාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇත.

ඒ අනුව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට අද (10) උදෑසන 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇත.

✕
⌃ News
📰 Free News Subscription?