Local news

2029 ආණ්ඩුවේ පොලිස්පති සාජන් බණ්ඩා

2029 ආණ්ඩුවේ පොලිස්පති සාජන් බණ්ඩා

තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට හිටපු සාජන් බණ්ඩා මේ වනවිට විශ්‍රාම අරන් සිටින බවත් ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරන්න සුදුසු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් විදිහට විශ්‍රාම අරගෙන වසර පහකට පස්සේ ශානි අබේසේකර මහත්තයාට නියෝජ්‍ය පොලිස්පති ධුරයක් ලැබිලා තියෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරපු පත් කිරීමක් තමයි.

එහෙම කරන්න බෑ කියපු පත්වීමක් තමයි ලබාදීලා තියෙන්නේ. ඒක හොද පුර්වාදර්ශයක් මේ රටේ. ඉස්සරහට තව තව පොලීසියේ විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 80වේ, 90වේ අයත් ඇවිල්ලා තනතුරු වලට එයි.

මගේ පෞද්ගලික ආරක්ෂාවේ හිටිය සාජන් බණ්ඩා මේ වෙනකොට විශ්‍රාම අරන් ඉන්නේ. මම යෝජනා කරනවා ඊළග ආණ්ඩුවේදී ඔහු පොලිස්පති ධූරයට පත් කරගන්න සුදුසුයි.”

පොලිස්පති ඝාතනය – මම එහෙම ප්‍රකාශයක් කරේ නෑ.. සම්පුර්ණ වැරදියි

පොලිස්පති ඝාතනය – මම එහෙම ප්‍රකාශයක් කරේ නෑ.. සම්පුර්ණ වැරදියි

තමන් ප්‍රකාශ නොකරපු දෙයක් තමන් ප්‍රකාශ කළ බවට පෙන්නා සම්පුර්ණ වැරදි අර්ථකතන ලබාදීලා තියෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ කිසිම දවසක, කිසිම ආණ්ඩුවක් නොකරපු ආකාරයේ වැරදි වැඩ කරමින් යන බවද පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් සඳහන් කළේ,

නොකියපු දෙයක් කිවුව හැටියට පෙන්නලා සම්පුර්ණ වැරදි අර්ථකතන ලබාදීලා දඩයම් කරන්න හදනවා. විරුද්ධවාදී දඩයමක්. අපි ඒකට බය වෙන්න ඕන නෑ. මෙහෙම දඩයම් කරන්න ගිය නායකයෝ ලෝකයේ ගොඩක් හිටියා.

හැබැයි ඒගොල්ලෝ හැමෝටම අත්වුණේ බොහොම දුක්ඛිත ඉරණමක්. මම හිතන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුර කුමාර දිසානායක මැතිතුමත් එවැනි ගණයේ නායකයෙක් වීමට උත්සාහ දරනවා.

මේ ආණ්ඩුව ඉතිහාසයේ කිසිම දවසක, කිසිම ආණ්ඩුවක් නොකරපු ආකාරයේ වැරදි වැඩ කරමින් යනවා. ඉතින් මේක ජනතාව තේරුම් ගත්තදාට ජනතාවම පිළිතුරු දෙයි.”

⁣කෙසේ වෙතත් සාගර කාරියවසම් පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,

අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.

බන්ධනාගාර එක සිදුවීමක් විතරයි.. තව ගොඩක් සිදුවීම් වෙනවා

බන්ධනාගාර එක සිදුවීමක් විතරයි.. තව ගොඩක් සිදුවීම් වෙනවා

දැනටමත් අපි ඉතාම සංවිධානාත්මකව සිදුකළ යුතු දේවල් සිදු කිරීමට සූදානම් බවත් රට අස්ථාවර වීම, බන්ධනාගාර සිදුවීම් කියන්නේ එක සිදුවීමක් විතරක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ,

මේ රටේ ජනතාව රැවටෙන්න පුළුවන්, කියන්න පුළුවන් සියලුම බොරු ටික කිවුවා. දැන් එකින් එක ඉටු කරාවි කියලා ජනතාව බලාගෙන හිටියා අවුරුදු දෙකක්. මම හිතනවා ඊ⁣ට පස්සේ ජනතාව ඉවසීමේ සීමාව ඉක්මවා යයි.

අපි බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් කරනකම්. එහෙම නැති වුණොත් අපි ලෑස්තියි විපක්ෂය හැටියට, දැනටමත් අපි ඉතාම සංවිධානාත්මකව කලයුතු දේවල් කරන්න අපි ලෑස්තියි.”

තමන්ට වැඩේ කරන්න බැරි වුණාම විරුද්ධ වෙන මිනිහා හිරේට දාලා කට වහන්න කියනවා. එහෙම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. රට අස්ථාවර වීම, බන්ධනාගාර කියන්නේ එක සිදුවීමක් විතරයි.

තව ගොඩක් සිදුවීම් තව ගොඩක් සිදු වෙනවා. අපිට වඩා රටේ ජනතාව මේ දිහා ඉතාමත් අවධානයෙන් බලා ඉන්නවා. ඉදිරියේදී උත්තර දෙයි.”

ජූලි මාසයේ විදෙස් සංචිත ඉහළ⁣ට

ජූලි මාසයේ විදෙස් සංචිත ඉහළ⁣ට

රටේ සමස්ත නිල විදෙස් සංචිත ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජුනි මාසයේදී විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,458ක් ලෙස සටහන් වී තිබුණ අතර ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී එය 2.017%ක වැඩි වීමකි.

ඒ අනුව ඩොලර් මිලියන 133ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය ජූලි මාසයේදී මෙරට සමස්ත සංචිත ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 6,591ක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

ශබ්ද දූෂණයට නව රෙගුලාසි.. වහාම අත්අඩංගුවට

ශබ්ද දූෂණයට නව රෙගුලාසි.. වහාම අත්අඩංගුවට

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන ඇත.

ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

සහල් ඇතුළු ආහාර රැසක මිල අඩු කරයි

සහල් ඇතුළු ආහාර රැසක මිල අඩු කරයි

අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ඉහළ⁣ට

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ඉහළ⁣ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වැටුප යම් ප්‍රමාණයකින් වැඩි වීමක් සිදුව ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නෑ. නමුත් ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපුවා. රජය ඒ තීරණය ගත්තේ ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයට පත්වීමත් එක්ක.”

ඒ නිසා ඉන්ධන දීමනාව හිමි සියලුම රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩි වීමක් ලැබිලා තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩිවෙලා ඇති.”

වැඩි මිලට සහල් වික්ක නිව් රත්න සමාගමට වැඩ වැරදුන හැටි

වැඩි මිලට සහල් වික්ක නිව් රත්න සමාගමට වැඩ වැරදුන හැටි

නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් මිලියනයක දඩයක් නියම කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

රජය මඟින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා රතු නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කර ඇත.

2022 වසරේදී නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 220ක උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් රතු නාඩු සහල් කිලෝවක් මිල රුපියල් 225 බැගින් සටහන් කර වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නඩුව පවරා තිබුණේය.

අනතුරුව (06) වන දින මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම වරදකරු බවට අධිකරණය තීන්දු කළේය.

චෙම්මනි සමූහ මිනීවළේ මිනිස් සිරුරු 500 පනී

චෙම්මනි සමූහ මිනීවළේ මිනිස් සිරුරු 500 පනී

යාපනය, චෙම්මනි සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන ඇත.

මෙරට තුළින් මිනිස් සිරුරු 500 ඉක්ම වූ අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය වන බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් සඳහන් කරයි.

චෙම්මනි සමූහ මිනීවළේ තුන්වන අදියරේ කැණීම් කටයුතු සඳහා අධිකරණය විසින් දින 56ක කාලයක් ලබාදී තිබුණද, අද වනවිට එම අදියරේ කැණීම් කටයුතු සිදුකර ඇත්තේ දින 46ක් බව සඳහන් වේ.

කැණීම් කටයුතු සිදුකළ 100 වැනි දිනයේදී නව මිනිස් ඇටසැකිලි අවශේෂ හඳුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත මිනිස් ඇටසැකිලි අවශේෂ සංඛ්‍යාව 507ක් දක්වා ඉහළ ගොස් ඇත.

චෙම්මනි සමූහ මිනිවළ හය වන අදියර 46 වන දිනට ඊයේ (07) දින යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින අතර ඉදිරියේදී තවත් මිනිස් ඇටසැකිලි අවශේෂ හමුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්.. දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

2026 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේගේ ප්‍රධානත්වයෙන් අද (08) දින පෙරවරුවේ පැවැත්විණ.

උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු (05) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර එම විභාග මධ්‍යස්ථාන වලට දෙමාපියන්ට ඇතුළු වීමට අවසර හිමි නොවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටින බවද සඳහන් කරයි.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙසට උපදෙස් ලබාදී ඇත.

පළමුවෙන් දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන අතර එය පෙරවරු 9.30ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිත අතර අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.