Top Story

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ජනපති වැඩ අරඹයි.!

ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිස්ත්‍රීක්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලීය.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රීක්කයේ ජල සැපයුම් දින 03ක් තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා එතෙක් බවුසර් මගින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමටත්, එම කටයුතුවලදී සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් හදිසි අවශ්‍යතාවක් සේ සලකා ප්‍රසම්පදාන කටයුතු සිදු කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික සහාය ලබා ගැනීමටත් උපදෙස් දුන්නේය.

එමෙන්ම නිවාස වල ළිං සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙන් සිදු කිරීමටද උපදෙස් දුන් අතර විශාල ප්‍රතිසංස්කරණ කටයුතු දෙවන අදියරට තබා ගනිමින් තාවකාලික පිළිසකර කිරීම් තුළින් මෙම දෙසැම්බර් (31) වනදා වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථාවත් කිරීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම වගා කළ හැකි බිම් හඳුනාගෙන ඒවා වගා කිරීමට ප්‍රමඛතාව ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉක්මණින් වගා කළ හැකි කුඹුරු හඳුනාගෙන ඒවාට අවශ්‍ය වාරි ජලය සැපයීමටත්, එහිදී මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළේය.

එමෙන්ම ඉක්මණින් වගාකළ හැකි ගොවීන් ප්‍රමාණය සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල කඩිනමින් ලබා දීමටද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවෙන් හානියට පත් දිස්ත්‍රික්කයේ එළවළු වගාව පිළිබඳවද සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගනිමින් ඔවුන් වෙනුවෙන් ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ එක හමාරක් වූ වන්දි මුදල් ලබා දීමටත්, කෙසෙල් වගාවට සිදු වූ හානි සඳහා එළවළු වගාවට ලබා දෙන වන්දි මුදලම ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කිරීමත් උපදෙස් දුන්නේය.

ආපදාව හමුවේ පශු සම්පත් ක්ෂේත්‍රයට සිදු වූ බලපැම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ගොවිපොළ ප්‍රමාණය මෙන්ම සතුන් ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

විනාශ වී ගිය සත්ත්ව ගොවිපොළ නැවත කඩිනමින් ආරම්භ කරමින් එම ගොවීන්ගේ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සහ කිරි, කුකුළු මස්, බිත්තර ඇතුළු රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

එමෙන්ම දිස්ත්‍රික්කයේ ඉන්ධන සැපයුම යථාවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මාර්ග අවහිර වීම හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වී ඇති පුස්සැල්ල සහ මීතලාව යන ප්‍රදේශවලට මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සම්බන්ධීකරණයෙන් අද සවස් වන විට ඉන්ධන සැපයීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම මහනුවර දිස්ත්‍රීක්කයේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබදවද සාකච්ඡා කෙරුණු අතර නියමිත පරිදි විභාග පැවැත්වීම වෙනුවෙන් පාසල් ආරම්භ කිරීමේදී කාල පරතරය අවම කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

දිස්ත්‍රීක්කයේ සෞඛ්‍ය, දුම්රිය මාර්ග, සහ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවරද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

නිවාස හානි සහ එම ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා වූ අතර එම කටයුතුවලදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

එමෙන්ම ජනතාව යළි පදිංචි කිරීම වෙනුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල ඇති රජයේ ඉඩම් හඳුනාගෙන ඉදිරිපත් කරන ලෙසත් අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව වඩා සුරක්ෂිතව යළි පදිංචි කිරීම රජයේ අරමුණ බවත්, විනාශ වූ සහ අර්ධ හානි සිදු වූ නිවාස වෙනුවෙන් ලබා දෙන වන්දි නිසි අයුරින්ම එම කටයුතු සඳහා යොදවන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමක් සිදු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සියලු වන්දි මුදල් 2025 අයවැය යටතේ ලබා දීම සිදුවන බැවින් 2026 අයවැය බරක් නොවීමට නම් දෙසැම්බර් 31 වනදාට පෙර මෙම සියලු වන්දි ලබා දීම් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

ගම්පොළ ප්‍රදේශයේ කුණු බැහැර කිරීමේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර ඊට දීර්ඝකාලීන විසදුමක් ලෙස මහවැලියට අයත් ඉඩම නිදහස් කරන තුරු විදුලිබල මණ්ඩලයට අයත් ඉඩම තාවකාලිකව ලබා දීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආයතනවල සිදුව ඇති හානිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ගංවතුර, සුළි කුණාටු සහ නාය යාම් වැනි ස්වභාවික ආපදාවන් වැළැක්විය නොහැකි නමුත්, එමගින් ජීවිත සහ දේපළවලට සිදුවන හානි වළක්වා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මධ්‍ය කඳුකරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර දිරාපත් වෙමින් පවතින මධ්‍ය කඳුකරය යළි සුවපත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබා නොදීමට විදුලිබල මණ්ඩලයටද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කැපවීම මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ, තනුර දිසානායක, රියාස් මොහොමඩ්, මොහොමඩ් පස්මීන්, තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ ප්‍රේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ තීරණයක්.!

වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ තීරණයක්.!

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර ඇත.

පසුගිය නොවැම්බර් (24) වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර දැනුම් දී ඇත. 

ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

ව්‍යසනය ඉතා වේදනාකාරියි.. අලුත් මාවතක ගමන් කර රට ගොඩනගමු.!

ව්‍යසනය ඉතා වේදනාකාරියි.. අලුත් මාවතක ගමන් කර රට ගොඩනගමු.!

ජනාධිපති අනුර කුමාර දිසානායක (05) දින පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව පහතින්..

“විශේෂයෙන් අපි අද මුදල් අමාත්‍යාංශය පිළිබඳවත්, පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳවත්, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම පිළිබඳ රෙගුලාසි මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

මේ සියලු කරුණු අතර අපට මුහුණ දීමට සිදු වූ ව්‍යසනය පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට බොහෝ අවස්ථාවල මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දී තිබෙනවා. ඇතැම් විට වෙරළ තීරයන්ට ආසන්නව මේ ව්‍යසනය ඇති වූ විට කදුකරයේ ජීවත් වන ජනතාව සහ අනෙක් පළාත්වල ජනතාව ඒ පිළිබඳ කම්පනයට පත් වුණා.

මධ්‍යම කදුකරයේ මේ ව්‍යසනය සිදු වූ විට අනෙක් පළාත්වල ජනතාව කම්පනයට පත් වුණා. හැබැයි මේ අවස්ථාවේ දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණු කොට අනෙක් සියලු දිස්ත්‍රික්කවලින් විශාල ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා පුරවැසියන්, ජනතාව තමන්ගේ කම්පනය සඟවාගෙන මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා.

අපි දන්නවා මේ වෙලාවේ අප අතර ජීවත් විය යුතු පිරිසක් ඒ ව්‍යසනය නිසා අහිමි වී තිබෙනවා. මේ වෙලාවේ තමන්ගේ දරුවන් සහ ඥාතීන් සමග සමීපව ළෙන්ගතුව ජිවත් විය යුතු පිරිසක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ වගේම, ඇතැම් ගම්මාන පිටින් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඇතැම් පවුල් පිටින් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා.

ඒ නිසා මේ ව්‍යසනය අපේ රටේ මෑත කාලයේ අපි දකින විශාලතම ව්‍යසනයයි. රටේ ජනතාවගේ හදවත් කම්පනයෙන් පිරී තිබෙනවා. ඔවුන්ගේ හැගීම් කදුළුවලින් ප්‍රකාශයට පත් කළ නොහැකි තරමේ වේදනාබර වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන අතර, සිරුරු හමු වී තිබෙනවා. ඇතැම් පිරිසක් මිය ගොස් තිබෙනවා, හැබැයි සිරුරු සොයාගත නොහැකි තරමේ අතුරුදන් වීමකට ලක් වී තිබෙනවා.

මිනිසුන් අහිමි වීම මිනිසුන් අතුරුදන් වීම පිළිබඳ අපේ සමාජයට කම්පනයක් සහිත ඉතිහාසයක් තිබෙනවා. යුද්ධවලින්, ස්වාභාවික ව්‍යසනවලින් මිනිසුන් අහිමි වූ අතුරුදන් වූ කම්පන සහිත ඉතිහාසයක් අපේ රට තුළ ලියැවී තිබෙනවා. කෙනෙකුගේ අහිමි වීම තමන්ගේ මිතුරන්ට තමන්ගේ ඥාතීන්ට කොපමණ කම්පනයක්ද කියලා අපි දන්නවා.

අපි එය අත්දැකපු පිරිසක්. කෙනෙක් අතුරුදන් වූ පසු ඔවුන්ගේදෙමාපියන්, ඥාතීන් එය පිළිගැනීමට සූදානම් නැහැ. නැවත පැමිණෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. වසර ගණනාවක් පුරා මේ අතුරුදන් වූවන් පිළිබඳ කම්පනයෙන් පුරවැසියන් ජීවත් වෙනවා. පෞද්ගලිකව ගත්තොත් මටත් එවැනි අත්දැකීමක් තිබෙනවා.

අතුරුදන් වීම පවුලකට, ඥාතීන්ට, මිතුරන්ට මොන තරම් කම්පනයක් ගෙනත් දෙනවාද? ඒ නිසා මේ මොහොතේ තමන්ගේ මිතුරන්, ඥාතීන් අහිමි වීමේ වේදනාව සහිතව කම්පනයෙන් ජීවත් වන පිරිසක් සිටිනවා. රටක් ලෙස අපි පළමුවෙන්ම ඒ සියලු දෙනාට අපේ සංවේගය ප්‍රකාශ කළ යුතුයි.

මේ අහිමි වූ කිසිවකුගේ ජීවිත අපිට යළි ලබා දෙන්න බැහැ. එය තමයි ඛේදනීය යථාර්ථය. හැබැයි ආණ්ඩුවක් ලෙස පුරවැසියන් ලෙස අපිට වගකීමක් තිබෙනවා. අපේ අපේක්ෂාව විය යුත්තේ ජීවත්වන සියලු දෙනාට, තිබූ තත්ත්වයට වඩා හොඳ ගුණාංගවලින් පිරි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.

ඒ නිසා අපේ රටේ ජනතාව යළි මෙවැනි ඉරණමකට ලක් නොවන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමටත්, මීට වඩා හොද රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් උපරිම වෙහෙස මහන්සි වී කටයුතු කීරීමට අපි සූදානම්. එය අප වෙත පවරාගත් වගකීමක් සහ අත්හළ නොහැකි හෘදයාංගම බැඳීමක් බව මම සිතනවා.

ඕනෑම ව්‍යසනයකදී දේපළ සහ මිනිස් ජීවිත උදුරාගත හැකියි. හැබැයි, මෙරට ජනතාව තුළ ඇති මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගන්න බැරි තරමේ ප්‍රබල ගුණාංගයක් බව මෙම ව්‍යසනයේදීත් අපිට ඔප්පු කර තිබෙනවා. ජනතාව ඔවුන්ට කළ හැකි පමණින් පරිත්‍යාග සිදු කරනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙම ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අරමුදල් රැස් කරනවා. ලේ ඒකක 1500ක් අඩු බව ලේ බැංකුව දැනුම් දුන් විට ඒකක 20,000ක් ලබා දී තිබෙනවා. ඒ තමයි කුමන ව්‍යසනයකදී වුවද මකා දැමිය නොහැකි අපේ රටේ මනුෂ්‍යත්වය.

ලෝක ඉතිහාසයේ බිද වැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම කාර්යය බවට පත් වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයි. දෙවන ලෝක යුද්ධයේදී ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වන විට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ පරිත්‍යාගය ලෝකයට සාමය කැටුව ආවා.

දියුණුවේ හිණිපෙතට ගමන් කළ රටවල ආර්ථික මාවත, උපායමාර්ග වැදගත් වගේම ඒ ජනතාව තුළ තිබූ ධෛර්යවන්ත මැදිහත් වීම එහි ප්‍රධානතම සාධකය බවට පත් වුණා. ජපානය, චීනය නැගී සිටියේ එලෙසයි. ජනතාවගේ විශ්වාසය සහ ධෛර්යය තමයි අපට මේ රට ගොඩනැඟීමට මඟපෙන්වීම ලබා දෙන්නේ කියා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ ව්‍යසනය ඇති වූ අවස්ථාවේ මේ ව්‍යසනයෙන් අපේ ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශාල වෙහෙසක් දරමින් කටයුතු කළා.

කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ජිවිතය කොයි මොහොතේ අහිමි වෙයිද කියන කම්පනය සහිතව සිටියේ. ඇතැම් මන්ත්‍රීවරු නිවසේ සිට පැය දෙකයි, තුනයි කියලා ෆේස් බුක් සටහන් ලිව්වා. හැබැයි, ඒ වන විටත් අපේ නාවික හමුදාව එම ජනතාව බේරා ගැනීමේ විරෝධාර ක්‍රියාවේ නිරතව සිටියා. ඉතාම අසීරු වෙහෙසකර තත්ත්වයන් යටතේ මෙම සැඬ පහර පරාජය කර ඔවුන් වෙත පියමන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම බස් රථයේ සිටි පිරිස වහළයක් මතට ගෙන ඒමට සමත් වුණා. ඉන්පසුව ඉතා කෙටි වේලාවකදී බස් රථය ගසාගෙන ගියා. එම අවස්ථාවේ නාවික හමුදාව ගමන් කළ බෝට්ටුවද ක්‍රියාවිරහිතභාවයට පත් වුණා. අවසානයේ ඒ බෝට්ටුවේ ගිය නාවික හමුදා නිලධාරීන්ටත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම වහළය මත ජීවත් වීමට සිදු වුණා.

පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසකට ඇස්බැස්ටෝස් වහළයක් මත මහා සැඬ පහරක් තුළ ජීවත් වීමට ධෛර්යය ලබා දුන්නේ එම නාවික හමුදා නිලධාරින් තිදෙනායි. ඉතාමත් දුෂ්කර ව්‍යායාමයකින් පසු පළමු වටයේදී සැඬ පහරට හසු වූ මුදාගැනීමේ කණ්ඩායම නැවත පැමිණියා. මම ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ තරුණයන් දෙදෙනෙක් ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්නලා දුන්නා. ඒ පාරේ ගිහින් මේ 70 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට ඔවුන් සමත් වුණා. එක් අයෙක් රෝහල්ගත වුණාට පසු මිය ගියා. එවැනි කාර්යක්ෂම ත්‍රිවිධ හමුදාවක් සහ පොලීසියක් අපිට ඉන්නවා.

විතිකුලියේ ෆාම් එකේ කොටු වී සිටි කණ්ඩායම මුදා ගැනීමට ගිය බෝට්ටු දෙකම ක්‍රියාවිරහිත වුණා. අවසානයේ ඔවුන් මුදා ගැනීමට හැකි වුණේ පසු දා පාන්දරයි. නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකක ජනතාව සිර වී සිටියා. අනුරාධපුර නගරයේ ගස් උඩ හිටියා. තවත් තැන්වල පොල් ගස්වල නැගලා ජීවිතේ බේරා ගන්න උත්සාහ කර තිබුණා. අපේ ගුවන් හමුදාවත් ඉතාමත් වික්‍රමාන්විත විරෝධාර ක්‍රියාවන් හරහා ඔවුන් මුදා ගැනීමට සමත් වුණා.

ඊට පසු අපිට වාර්තා වෙනවා මාවිල්ආරු බැම්ම කඩා ගෙන යෑමේ අනතුරට මුහුණ දෙනවා කියලා. සේරුවාවිල අපේ හාමුදුරුවන් වහන්සේ මට කතා කළේ රාත්‍රී 12ට. ඒ වන විටත් අපේ දේශපාලන අධිකාරිය ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් තිබුණා. ඒ වෙලාවේ නැවත හමුදාව, පොලීසිය, ප්‍රගතිශීලී පුරවැසියන් මැදිහත් වෙලා දහස් ගණනක් සේරුවාවිල පන්සලට ගෙන ගියා.

මේ මුදාගැනීමේ මෙහෙයුමේදී ඉතාමත් නිර්භීත ගුවන් හමුදා නිලධාරියකු මිය ගියා. මොවුන් මිය යන මොහොතේදීත් අනෙකා පිළිබඳ කල්පනා කරමින් මිය ගිය මිනිසුන්. මේ වහසි බස් දොඩවන මිනිසුන්ගේ කතාවලට වඩා ඉතිහාසය ඔවුන්ගේ කතාවලින් ලියැවෙන බව මතක තබා ගත යුතුයි.
ඒ වගේම චුන්ඩිකුලම් ප්‍රදේශයේ මෝයකට කැපීමේ ඉතාමත් වෙහෙස කර සහ බිහිසුණු කටයුත්තට ගිය නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනෙක් සැඬපහරට හසු වී අතුරුදන් වුණා. විශාල වෙහෙසක් දැරුවත් තවමත් අපිට ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ වගේම, ධර්මදාස කියන පොලිස් නිලධාරියා රාජකාරිය නිමවා යද්දී මේ ව්‍යසනයෙන් මිය ගියා. ඔවුන් දිවා රෑ නොබලා සිය රාජකාරිය කරන්න වෙහෙස වුණා. සීගිරියේ පදිංචි විදුලිබල මණ්ඩලයේ සේවය කරන අනුරුද්ධ කුමාර මහතාට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිය යළි ස්ථාපිත කිරීමේ කටයුත්තේදී ජීවිතය දෙන්න සිදු වුණා.

ඒ නිසා මේ ව්‍යසනයේදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ රාජ්‍ය සේවය නිදිවර්ජිත, ඉතාමත් වෙහෙසකර වූත් දුෂ්කර වූත් විශාල කාර්යභාරයක් ඉටු කළා. ප්‍රාදේශීය ලේකම්වරයා කල්පනා කරනවා තමන්ගේ ප්‍රදේශයේ කිසිවකුට කරදරයක් නොවිය යුතුයි කියලා. ග්‍රාම සේවා නිලධාරී කල්පනා කරනවා තමන්ගේ වසමේ කාටවත් කරදරයක් සිදු නොවිය යුතුයි කියලා. දිස්ත්‍රික් ලේකම්තුමා කල්පනා කරනවා තම දිස්ත්‍රික්කයේ කිසිවකුට කරදරයක් නොවිය යුතුයි කියලා.

එතරම් ව්‍යසනයකදීත් සීත කාමරවල හිටපු මහත්තුරු ලස්සනට ඇඳගෙන සුවඳ විලවුන් දා ගෙන ගිහින් දිසාපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. රාජ්‍ය සේවය මේ ව්‍යසනයේදී සිදු කළ කාර්යභාරය පිළිබඳව බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි. ඒ අතරට සෞඛ්‍ය සේවය ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඉටු කරන ලද විශාල කාර්යභාරයටද බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අපේ රටේ කුමන හෝ ගැටලුකාරී තත්ත්වයකදී සෑම විටම විශාල කම්පනයකින් යුතුව මේ කාර්යයට මැදිහත් වුණා. ඒ පිළිබඳව අපි ස්තූතිවන්ත විය යුතුයි.

අපට මුදාගැනීමේ මෙවලම්, යටිතල පහසුකම් තිබෙන්නේ ඉතා අඩුවෙන්. හැබැයි, අපගේ අසල්වැසි මිතුරු රාජ්‍යයන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය හෙලිකොප්ටර්, බෝට්ටු, විවිධ යන්ත්‍රෝපකරණ, පුහුණු භට පිරිස් සහ පුහුණු සෞඛ්‍ය සේවක කණ්ඩායම් අප වෙත එවා තිබෙනවා. ශ්‍රී ලංකාව මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට දක්වන සහාය වෙනුවෙන් ඒ සියලු විදෙස් මිතුරු රාජ්‍යයන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අපි හදිසි නීතිය පැන වූවා. ව්‍යසන කළමනාකරණ පනත අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ‘මුළු රටේම ව්‍යසන තත්ත්වයක් පවතින බව ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකිය“ එසේ නොමැති නම් මහජන ආරක්ෂක පනත යටතේ ක්‍රියාමාර්ග ගත හැකියි. ව්‍යසන කළමනාකරණ සභාව වසර 7කට පසුව කැඳෙව්වේ පසුගිය අගෝස්තු මාසයේ 06 වෙනි දා. එදා සහභාගි නොවුණත් මේ ව්‍යසනයෙන් පසුව ඒ සභාව කැඳ වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා සහභාගි වූ බව මම කියන්න කැමතියි. මේ ව්‍යසන කළමනාකරණ පනත දුබල බව සහ එබැවින් එය සංශෝධනය කළ යුතු බව තමයි එදා අපේ තීරණය බවට පත් වුණේ. ව්‍යසන කළමනාකරණ පනත මෙවැනි අභියෝගයකට මුහුණ දීම සඳහා ශක්තිමත් පනතක් නොවෙයි.

‘ව්‍යසන කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරීම සෑම අමාත්‍යාංශයකම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකම සහ රාජ්‍ය සංස්ථාවක කාර්ය වන්නේය. ‘ නමුත් එහෙම සැලැස්මක් හදලා නැහැ. ඒ අනුව ව්‍යසන කළමනාකරණ පනත අනුව කටයුතු කරන එක මේ වෙලාවේ දුබලයි. මේ අවස්ථාවට මුහුණ දෙන්න ප්‍රමාණවත් නොවන බව අපි කල්පනා කළා. වඩාත් ශක්තිමත් වන්නේ මහජන ආරක්ෂාව පනතේ දෙවන අධිකාරිය යටතේ බලය ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා තමයි විපක්ෂය ඉල්ලා සිටියේ හදිසි නීතිය පනවන්න කියලා. ඒ නිසා අපි මහජන ආරක්ෂක පනත යටතේ තමයි මේ නියෝග පැනෙවුවේ. අද සම්මත කර දෙන ලෙස මා ඉල්ලන්නේ එයයි.

මොකද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීම සඳහා සාමාන්‍ය නීතිය අපට ප්‍රමාණවත් නැහැ. මෙවැනි ව්‍යසනයකදී සාමාන්‍ය නීතියට වඩා උඩින් තිබෙන නීතියක් අපට අවශ්‍යයි. ඒ අනුව තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමට අපට හැකියාව තිබෙන්නේ. ඒ අනුව තමයි රටේ විවිධ ස්ථානවලින් තවත් ස්ථානවලට අවශ්‍ය උපකරණ හෝ නිලධාරීන් යොමු කරන්න හැකි වන්නේ. ඒ අනුව වඩාත් යෝග්‍ය පනත මහජන ආරක්ෂක පනත බව අප තීරණය කළා. ඊට විපක්ෂයෙන් ලැබුණු සහායට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

එහෙත් මේ මහජන ආරක්ෂක පනත අප කිසිසේත්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උපයෝගී කර ගන්නේ නෑ, මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගනන් ගන්නේවත් නැහැ. අවලාද අදාළම නෑ. ඒවාට සාමාන්‍ය නීතිය තියෙනවා. හැබැයි ජනතාව බිය වැද්දීමට, නොමඟ යැවීමට සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරී ප්‍රජාව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා වන සැලැස්මට බාධාවක් නම් ඒ සඳහා පමණයි අපි මේ නීති උපයෝගී කර ගන්නේ.

එක මන්ත්‍රීවරයෙක් කිව්වා ගම්පොල 1000ක් මැරුණා කියලා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙතන කිව්වට එළියට ගිහින් කිවුවොත් නඩු දානවා. එහෙම කියන්න බෑ. ගම්පොල වැඩි පිරිසක් මුස්ලිම් ප්‍රජාව ඉන්නේ. ඔවුන් හිතනවා ඔවුන්ට අඩු සැලකිල්ලක් තියෙන්නේ කියලා. ඒවාට නම් මේ නීතිය උපයෝගී කර ගන්නවා. මේ ව්‍යසනයෙන් ගොඩඒමට අපට අවශ්‍ය වන්නේ ඉතා සාමකාමී ප්‍රවේශම්කාරී මැදිහත් වීමක්.

පාර්ලිමේන්තුවේදී විශාල ලෙස මතභේදයට තුඩු දුන්නා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නිදහස් කරන්න පුළුවන්ද කියලා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඇති බව සමහරු කියන්න පටන් ගත්තා. රාජ්‍ය නිලධාරීන් බයයි කියන්න ගත්තා. මේවා බොරු. මේ ව්‍යායාමයේදී සද්භාවයෙන් මැදිහත් වූ සෑම නිලධාරියෙකුම ආරක්ෂා කරන්නේ අපි බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

අපි ලිහිල් කළ බලයක් දුන්නා. ලංකාවේ පළමු වතාවට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500ක් දක්වා වියදම් කිරීමේ බලයක් දුන්නා. දිස්ත්‍රික් ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. මොකද අපි මේ නිලධාරීන්ව විශ්වාස කරනවා. ඔවුන් අයථා ලෙස මේ ව්‍යසනයෙන් උපයා ගනියි කියා අපි සිතන්නේ නැහැ. අපි ඔවුන්ව ප්‍රබල ලෙස විශ්වාස කරනවා. හැබැයි පරණ දේශපාලන වළල්ලත් සමඟ එක් ව කළ විනාශයන් තිබෙනවා. ඒවාට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සිදු වෙයි.

අප දන්නවා ගුවන් තොටුපොල, වරාය වේගයෙන් සක්‍රිය කර ගැනීමට අවශ්‍යතාව තිබුණා. එහෙත් ඒවායේ සේවකයින් එන්න බැරි නම් ? අපි ලේකම්වරයාට බලයක් දෙනවා ඔබට ඔබේ නිලධාරීන් ආසන්න හෝටලයක රඳවා ගැනීමට වියදම් දැරීමට. ඒ වගේම ග්‍රාම නිලධාරි මහතාටත් රුපියල් 50,000 දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. සාම්ප්‍රදායික චක්‍රලේඛ, නීති තිබිය යුතුයි. එහෙත් මෙවැනි ව්‍යසනයකදී ඒවායේ කොටු නොවිය යුතුයි කියා අපි එය නිදහස් කර දුන්නා.

අපි දන්වා තවමත් පිරිසක් අවතැන් කඳවුරුවල ජීවත් වෙනවා. වාර්තාවන්ට අනුව පවුල් 55,747ක් පමණ අවතැන් වී තිබුණා. එයින් පවුල් 4000ක් පමණ නැවත ගොස් තිබෙනවා. නිවාස, විදුලිය සහ අනෙකුත් සන්නිවේදන මාර්ග සකස් කර ඔවුන්ට එතනට යන්න පුළුවන් වෙන වටපිටාව ඉතාම වේගයෙන් සකස් කිරීම තමයි අපේ උත්සාහය වී තිබෙන්නේ. අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා.

නිවාස 5165ක් පූර්ණ හානි වී ඇති බවට වාර්තා වෙනවා. 57312ක් අර්ධ හානි බවට වාර්තා වෙනවා. ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. මෙය අපේ ආර්ථිකයට බොහෝ විට ඔරොත්තු නොදෙන තත්ත්වයක්.

අපේ රටේ ආර්ථිකය තිබෙන්නේ හොඳම තැනක නොවන බව දන්නවා. එය බාහිරින් එන කුඩා කම්පනයකටවත් ඔරොත්තු දෙන්න බෑ. අභ්‍යන්තර කම්පනයකටත් ඔරොත්තු දෙන්න බෑ. අපි මේ ආර්ථිකය ඉතාමත් මැනවින් සීරුවෙන් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. හැබැයි, වියරු මනසක් තිබෙන අය අපේ ආර්ථිකය ගැන කුරිරු බලාපොරොත්තුවකින් පසු වෙනවා.

යුද්ධයක් ඇති විය හැකියි කියලා ආන්දෝලනයකට තුඩු දුන්නා ඔබට මතක ඇති. ඒ වෙලාවෙදීත් කුරිරු බලාපොරොත්තුවක් තිබුණා කොළඹට බෝම්බ දායි කියලා. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් වාර්තා වුණා. තෙල්මිල, ගෑස් මිල ඉහළ ගිහින් ආර්ථිකය කඩා වැටෙයි කියලා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. එක්සත් ජනපදය විසින් ඔවුන්ගේම ප්‍රතිපත්තිවලට අනුරූප වන ලෙස බදු ප්‍රතිශත තීරණය කළා. කර්මාන්ත කඩා වැටෙයි, අපනයන කඩා වැටෙයි, රැකියා නැති වෙයි, කියා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. මේ ගංවතුරේදීත් පෙන්නුවේ ඒ කුරිරු බලාපොරොත්තුවම තමයි.

එහෙත් සද්භාවයෙන් මේ අවස්ථාවේදී අපට කතා කළ මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් ඒ අතරත් කුරිරු බලාපොරොත්තු සහිත වියරු මන්ත්‍රීවරු ඉන්න එක ගැන ලැජ්ජා විය යුතුයි. තමන් පාර්ලිමේන්තුවට එවන්න කතිරය ගහපු පුරවැසියන් ඉන්නවා නමුත් මන්ත්‍රීවරයාගේ අභිලාෂය මොකක්ද?එවැනි කුරිරු මනසකට අප ඉඩ දෙන්නේ නැහැ.

මෙවැනි අභ්‍යන්තර ව්‍යසනයක් අපේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව අප දන්නවා. 1977 න් පසු, අවුරුදු 48කට පසු ලංකාවේ අඩුම අයවැය හිඟය වාර්තා කරන්නේ මේ 2025 වසරේදීයි. 2007න් පසුව ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කරනවා. 1977 අයවැය හිඟය 4.5යි. මේ අවුරුද්දේ අයවැය හිගය 4.5 දක්වා අඩු වෙනවා. අපි 6.8 ක් ඇස්තමේන්තු කර තිබුණා. අපි නැගිටිනවා. ආදායම් වැඩි වීම් පොලී අනුපාත දීර්ඝ කාලයක් තනි ඉලක්කමේ තියා ගන්න අපි සමත් වී තිබෙනවා. අපේ අපනයන ආදායම වර්ධනය වෙමින් තිබෙනවා. අපි නැගිටිමින් ඉන්නවා.

අයවැය ලේඛනය සම්මත කලේ මාර්තු මාසයේ 21 වන දා. ඒ සමඟම පළාත් පාලන මැතිවරණය මාර්තු 26 ආවා. අපි වියදම් කරන්න පටන් ගන්නේ මැයි මාසයේ 06 වෙනි දා. අනෙක් සෑම අයවැය ලේඛනයකටම ජනවාරි 01 වෙනි දා සිට වියදම් කිරීමේ හැකියාව ලැබුණා.

2021 නොවැම්බර් මාසය වන විට ප්‍රාග්ධන වියදම් 41.9% යි. 2022 දී 43.1%යි. 2023 දී 37.4%යි. 2024 දී 41.2%යි. 2025 දී 45.6%යි. ඒ අනුව 2021න් පසුව මැයි මාසෙන් ආරම්භ කර වැඩිම ප්‍රාග්ධන වියදම් කළ වර්ෂය බවට පත් වී තිබෙනවා. දෙසැම්බර් මාසයේ ගොඩක් බිල් පියවීමට නියමිතව තිබුණා. ඒ නිසා මෙය තව විශාල අගයකින් වැඩි වන බව මට විශ්වාසයි.

අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කර තිබෙනවා. අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් තිබෙන කමිටුවෙන් 76000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එයින් දොළොස් දහස් ගණනක්ම උපාධිධාරීන්. මේ අයුරින් නැගිටිමින් ඉන්න වෙලාවක තමයි අපට මේ ව්‍යසනයට මුහුණදීමට සිදු වුණේ. එයින් අපට බලපෑමක් එල්ල කරමින් ඉන්නවා.

අපි ඇති වෙනකම් බදු ගහලා තමයි මේ ආදායම් උපයා ගත්තේ කියලා සමහරු කිව්වා. නමුත් 2024 තිබූ බදු අඩු කරලායි තියෙන්නේ. 2025 සඳහා වාහන ආනයනය හැරුණු කොට වෙනත් අමතර බදු පනවා නැහැ. පැරණි ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2025දී 15.2%ක ආදායම් ඉලක්කයක් දී තිබුණා. එය සපුරා ගැනීම සඳහා තිබූ බදු වලට අමතරව තවත් බදු යෝජනා වී තිබුණා. ඩිජිටල් සේවා බද්ද, දේපල බද්ද පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට තිබුණා. නමුත් 30%කින් පැනවීමට තීරණය කර තිබූ ඩිජිටල් සේවා බද්ද අප 15% දක්වා අඩු කළා. බදු පැනවීම ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා කල් තැබූ නිසා 2025 වසරේ ක්‍රියාත්මක වුණේ නැහැ. දේපළ බද්ද ගැන කල්පනා කරන්නේ 2027දී කියලා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දීලා තියෙන්නේ. අලුත් බදු පැන වුයේ නෑ. තියෙන බදු ඉවත් කළා. අපේ ශක්තිය බවට පත්ව තිබුණේ ඉතාමත් හොඳ බදු කළමනාකරණයක් සිදු කර තිබීමයි. ඒ නිසා තමයි අප අපේක්ෂා කළ ආදායම් අභිබවා යන ආදායමක් ලබා ගත හැකිව තිබෙන්නේ.

මේ ආකාරයෙන් ගොඩනැගෙමින් තිබෙද්දී තමයි අපට මේ ව්‍යසනයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. මේ ව්‍යසනයට පත් වූ ජනතාවට ඉවසන්න කියලා කියන්න අපට පුළුවන්ද? අපි එහෙම ආණ්ඩුවක් නෙවෙයි. අපිට බැහැ. ආර්ථිකයේ අර්බුදයක් තිබෙන වෙලාවකදී ආර්ථිකයට ගනු ලබන කුඩා හෝ වැරදි තීරණයක් ආර්ථිකයට බරපතළ හානියක් කිරීමේ අනතුර තිබියදී පොඩි වැරැද්දක් පවා මේ ආර්ථිකයට බරපතළ හානියක් ගෙන දෙනවා. ඒ භයානක ප්‍රතිඵල තමයි 2022 රාජ්‍ය ආදායම 8.8%යි. ලංකා ඉතිහාසයේ අඩුම ආදායම බවට පත් වුණා.

එබැවින් මේ කිසිම දෙයක් ආර්ථිකය අනතුරට හෙළා කම්පනය මත හැඟුම්බරව ගන්නා තීරණ නෙවෙයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමඟ දින ගණනාවක් සාකච්ඡා කරලා ගත් තීරණයක්. මේ අයවැය ලේඛනය නතර කර අලුත් එකක් ගෙන ඒමට ඇතැම් අය උත්සාහ කළත් අපි එයට සූදානම් නැහැ. මේක නිකම් දත්ත එකතුවක් නෙවෙයි. මේ අයවැය සකස් කර තිබෙන්නේ යම් ආර්ථික උපාය මාර්ගයක් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින්. අපි අකුළන්නේ නෑ. අන්තර්කාල අයවැයක් ගේන්න කියනවා. ගේන්නේ නෑ.

අපි මේ 2026 සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය අපේ රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කර තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක්. අපි ඒක නතර කරන්නේ නැහැ. හැබැයි ඒ අයවැය ලේඛනයේ සමහර කොටස් මේ ව්‍යසනය සඳහා යොදා ගැනීමට අපි අවධානය යොමු කරනවා. මාර්ග සංවර්ධනය ගතහොත් වෙන් කර ඇති මුදලින් බිලියන 40ක් මේ ආපදාවට ලක් වූ මාර්ග සංවර්ධනය සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. පළාත් සභාවලටත් අපි උපදෙස් දී තිබෙනවා වෙන් කර ඇති මුදල්වලින් යම් ප්‍රමාණයක් මේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධනය සඳහා යොදා ගන්න කියලා. ආර්ථික උපායමාර්ග සපුරා ගැනීම එලෙසින්ම තබා ගනිමින් යම් මුදල් ප්‍රමාණයක් මේ සඳහා යෙදවීමට අපි සැලසුම් කර තිබෙනවා.

ඒ සියල්ල සමඟ මේ ජනතාව බලා ගත යුතුයි. එහි පළමු පියවර ලෙස අපි වියළි සලාකය සඳහා ලබා දෙන මුදල වැඩි කළා. ඒ වගේම, අද අපි රුපියල් බිලියන 50ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ බිලියන 50 සඳහා කිසිසේත්ම ණය සීමා වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. දැනටමත් අපි වෙන් කර තිබෙන ප්‍රතිපාදන තිබෙනවා. ඒ අනුව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා.

අපි මේ වන විටත් දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා තමන්ගේ ප්‍රදේශවල කුමන හෝ ගැටලුවක් තිබෙනවා නම් දැනුම් දෙන්න අපි මූදල් එවන්න සූදානම් කියලා. ඒ අනුව, මිලියන 10,500කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ලංකාවේ කිසි දිනක මෙලෙස සිදු වී නැහැ.

අද අපි ඉල්ලනවා අපිට තව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර දෙන්න කියලා. ඒ වගේ අපි ගාව බිලියන 22.2ක් තිබෙනවා. ඒ කියන්නේ බිලියන 72.2ක් ඉදිරි දින 25 තුළ වියදම් කිරීමට තිබෙනවා. අපි ඒ මුදල් වැය කරන්නේ මෙලෙසයි.

හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට සුදුසු පරිදි ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබා දී තිබෙනවා. අපි සියලු දෙනාටම එම මුදල ලබා දෙනවා. මීට පෙර ලබා දුන්නේ 10,000යි. එයත් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත.

ඒ වගේම ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන් ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමණ ගෙවන රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා.

ඒ වගේම, අපි අපේක්ෂා කරනවා නාය යාම් නිසා අවතැන්ව, කඳවුරුවල සිටින නිවාස අහිමි පවුල් වෙත මාස 03ක කාලයක් නිවසකට යාම සඳහා රුපියල් 25,000ක් ලබා දීමට. මෙය මාස 06 දක්වා දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඉන් පසුව ජීවනෝපාය මාර්ග සහ නිවාස අහිමි වූ දෙදෙනෙකුට වැඩිය සිටින පවුල්වලට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස සඳහා කුලී නිවසක ජීවත්වීම සඳහා භේදයකින් තොරව රුපියල් 50,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. අඛණ්ඩව මාස 03ක් මෙය ලබා දෙනවා, ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීම සඳහා.

ඊළඟට ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය වර්ග සහ බඩ ඉරිගු ආදිය සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව වන්නේ මේ කුඹුරු යළි වගා කිරීමයි. ආසන්න වශයෙන් කුඹුරු හෙක්ටයාර 160,000ක් පමණ හානියට පත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා. සාමාන්‍යයෙන් මීට පෙර මාසයකට වඩා අඩු ගොයමකට හෙක්ටයාරයකට රුපියල් 40,000යි ලබා දුන්නේ. අපී තීරණය කර තිබෙනවා මේ හෙක්ටයාර 160,000ම නැවත වගා කිරීමට. ඒ සදහා අවශ්‍ය බිත්තර වී, පොහොර ආදිය ගොවි ජනතාවට ලබා දෙනවා.

ඒ වගේම මෙවැනි ව්‍යසනයකදී එළවළු වගාව ගැන කල්පනා කරන්නේ නැහැ. එළවළු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා. මේ මුදල් වෙන් කිරීම අද සිට සිදු වෙනවා. හැබැයි අපේ අමාත්‍යාංශ නිලධරීන් සමත් විය යුතුයි මෙම වගා නැවත සිදු කිරීමට. අපේ අපේක්ෂාව වන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකය නැවත සූදානම් කිරීමයි. දෑත් කම්මුල් මත තබාගෙන අනේ අපොයි කියා නොසිට මේ රට බිඳවැටුණු තැනින් නැවත නඟා සිටුවීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය ප්‍රමුඛයි. ඒ නිසා යළි වගා කරන ලෙස අපි ගොවි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ සඳහා ඔවුන් සූදානම් කරන්න කියා නිලධාරීන්ගෙන් ඉල්ලනවා.

ආපදාවට ලක් වූ පශුවෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සෑම සත්ත්ව පාලන ගොවිපොළක්ම නැවත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02 බැගින්, ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම කුඩා, මධ්‍යම, විශාල භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා.

අපි හූල්ල හූල්ල බලන් සිට වැඩක් නැහැ. අපි මේවාට යළි පණ දිය යුතුයි. ඒ වගේම, අද මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරනවා බැංකු මට්ටමින් යම් සහනයක් එම ව්‍යාපාරිකයන්ට ලබා දීමට. එමෙන්ම, අපි රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කරමින් රක්ෂණ වාරික ගෙවීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම, මේ 2026 අයවැය ලේඛනයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම සඳහා අපි මිලියන 80,000ක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයකින් මෙම බිඳවැටුණු කර්මාන්ත නඟා සිටුවීම සදහා ණය ආධාර ලබා දෙන ලෙස අපි උපදෙස් දී තිබෙනවා.එවිට අපිට යළි මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ලියාපදිංචි වී තිබෙන ධීවර බෝට්ටු පූර්ණ ලෙස හානි වී තිබෙනවා නම් ඒ සෑම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 04ක දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට අධ්‍යාපන උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 15,000ක දීමනාවක් භාණ්ඩාගාරයෙන් ලබා දීමටත්, ඊට අමතරව රුපියල් 10,000ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම දැනටමත් අපි අස්වැසුම ලබන පවුල්වල පාසල් ළමුන්ට රුපියල් 6,000ක දීමනාවක් ලබා දෙන අතර එම දීමනාවට මෙමගින් කිසිදු බලපෑමක් නැහැ.

මේ අන්දමින් අපි ශක්තිමත්ව ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමෙන් සංචිත ශක්තිමත් කරගෙන තිබෙනවා. තිබෙන ආර්ථිකය අනුව අපි ජනතාවට මේ සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් රජයෙන් ඉඩමක් ලබා දෙනවා. එසේ ඉඩම් ලබා දීමට ඉඩම් නොමැති නම් නිවස ඉදිකර ගැනීමට ලබා දෙන දීමනාවට අමතරව ඉඩමක් ලබා ගැනීමට ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා.

ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා උපරිමව රුපියල් ලක්ෂ 25ක් දක්වා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 10,15,20,25 යන ඛාණ්ඩ 04ක් යටතේ එම මුදල් ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ආපදාවෙන් සිදු වූ ජීවිත හානිවලට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.

මේ දින 25ට ක්‍රියාත්මක කිරීමට බිලියන 72.2ක් තිබෙනවා. අද අපි 2026 අයවැය ලේඛනය සම්මත කළා. ජනවාරි මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා. එම අයවැය ලේඛනයට රුපියල් බිලියන 500කට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

අපි කවුරුත් දන්නවා අපි මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමය තුළ කටයුතු කරනවා. මෙම ගිවිසුම් ජාත්‍යන්තර නිර්ණායක මත ඇති කරගත් එකඟතාවන්. එම එකඟතාවන් වෙනස් කිරීමට සමාලෝචනයක් අවශ්‍යයි. දැන් අපි 5 වන සමාලෝචනය අවසන් කර නිලධාරී මට්ටමේ එකඟතාවට එළැඹ තිබෙනවා. එය එළැඹෙන 15 වන දා ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දීමට සැලසුම් කර තිබුණා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. අපි පෙර එළැඹි නිලධාරී මට්ටමේ එකඟතාවට වඩා වෙනසක් ඇති වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට යෝජනා කර තිබෙනවා මේ දෙසැම්බර් මාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් නොකර ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් තැබීමට. ඒ සඳහා අපි එකඟතාව පළ කර තිබෙනවා. දෙසැම්බර් මාසයේ අපිට ලැබීමට නියමිතව තිබුණේ ඩොලර් බිලියන 342ක වාරිකයක්. එම වාරිකය වැඩි කර ගැනීමට අපි සාකච්ඡා කරමින් තිබෙනවා. එම වාරිකය වැඩි කර ගැනීමට නම් අපිට සාකච්ඡාවක් සහ කාලයක් අවශ්‍යයි.

හැබැයි ක්ෂණික ඩොලර් අවශ්‍යතාව මත අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 200ක සහනයක් ඉල්ලා තිබෙනවා. ඔවුන් ඒ සඳහා ඵලදායී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගාසිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් අපි ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර තිබෙනවා.

අපි මේ පරිපූරක ඇස්තමේන්තුව සකස් කර මිල තීරණය කර තිබෙනවා. හැබැයි එම ව්‍යාපෘති නම් කරගත යුතුයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. 19 වෙනි දා පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. විපක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම ඊට සහයා ලබා දෙනු ඇතැයි මම සිතනවා. වෙන දා අයවැයෙන් පසුව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව රැස් වුවත් මේ වසරේ දෙසැම්බර් මාසයේදී රැස් වෙන්න වෙයි. ජනවාරි 06 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට දැනට එකඟතාව පළ කර තිබෙනනවා. හදිසි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැදවීමට අග්‍රාමාත්‍යවරියට හැකියාව තිබෙනවා. ඒ අනුව 19 වන දා මා මේ කියන ලද පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

අපේ යටිතල පහසුකම්වල විශාල බිද වැටීමක් ඇති වී තිබෙනවා. මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අපි මුදල් ප්‍රතිපාදන වෙන් කරගත යුතුයි. මෙම දෙසැම්බර් 31 වන දින පාලම් 30ක් ඉදිකර අවසන් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. අපි මේ මාර්ග පද්ධතිය අතර සම්බන්ධතාව යළි ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉතා විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව මේ බිඳ වැටී ඇති මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට අපිට හැකියාව තිබෙනවා.
ඒ වගේම විදුලිබලය 87%කට ආසන්න ප්‍රමාණයකින් නැවත ලබා දීමට අපි සමත් වී තිබෙනවා. මහියංගනය 132 වී සම්ප්‍රේෂණ පද්ධතිය බිද වැටීම හේතුවෙන් අම්පාර, මඩකළපුව, මහියංගණය ආදී ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණ සිට තිබෙනවා. එම විදුලි සැපයුම් යථාවත් කිරීම සඳහා එම කාර්යය මණ්ඩල වෙහෙසෙමින් කටයුතු කරනවා. ඒ වගේම සන්නිවේදන පද්ධතිය, ජලාපවාහන පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු වෙනවා.

මේ අන්දමින් අපේ ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව තිබෙන්නේ බිඳවැටුණු ජන ජීවිතය නගාසිටුවීමයි. ඒ වගේම ආර්ථිකය යළි ආරම්භ කළ යුතුයි. අපි රටක් පිළිබඳ වගකීමෙන් කටයුතු කරනවා. දිවා රෑ නොබලා සැලසුම් සකසමින් අපි මේ සඳහා වැඩ කරනවා.

ඒ වගේම නැවත ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ අරමුදල් එක්රැස් කිරීම සඳහා කමිටුවක් හදනවා.

මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා අරමුදල් වියදම් කිරීම ජාවාරම්කරුවන්ට දීලා කියලා. නැහැ. තවමත් මේ අරමුදලේ ගිණුම තිබෙන්නේ මහා භාණ්ඩාගර ලේකම්ගේ නමට. මුදල් බැර වෙන්නේ ඒකාබද්ධ අරමුදලට. මුදල් වියදම් කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස අරමුදල් එක් රැස් කිරීමේ කමිටුව නොවෙයි.

හැබැයි අපි ව්‍යවස්ථාපිත අරමුදලක් හදනවා. මුදල් කළමනාකරණ පනත අනුව සිතු සිතු ලෙස අරමුදල් හදන්න බැහැ. අරමුදලක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය බවට අලුත් නීතියක් ආවා. එහෙම නීති ආවේ සුනාමි අරමුදලට වූ දේ දැකලා. ඉතිහාසයේ මේ රටේ අරමුදල් ඉතා අගතිගාමී ලෙස උපයෝගී වී තිබෙනවා. මම දැක්කා නීතිය පටහැනිව අරමුදල් හදලා කියලා කියනවා. එසේ සිදු වී නැහැ. අපි අරමුදල් එක් රැස් කර ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඇතැමුන් කුරිරු ආශාවක් වෙනුවෙන් මේ අරමුදල ගැන සැකයක් නිර්මාණය කරනවා. ජාවාරම්කරුවන් සිටින බව ප්‍රකාශ කරනවා. එහි අරමුණ මේ අරමුදල් ශක්තිමත් වෙනවට තිබෙන අකමැත්තයි. බලය පිළිබද නොනිමි ආශාවකින් ඔවුන් පෙළෙනවා.

පුරවැසියන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තබා තිබෙනවා. ඒ නිසා බාහිර පුද්ගලයන් විශාල වශයෙන් මේ අරමුදලට දායක වෙනවා. ඒ විශ්වාසය මේ අරමුදල ශක්තිමත් කරනවා.
ඒ නිසා මේ තත්ත්වයට මුහුණදීමට අපි ඉතා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරනවා. ඒ සඳහා අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් හදනවා. ඒ යටතේ ඒකක 07ක් ඇති කරනවා. එහි එක් ඒකකයක් වන්නේ අරමුදල් රැස් කිරීමයි. දෙවැනි ඒකකය යළි ගොඩනැගීමේ සැලසුම් සකස් කිරීම, තුන්වන කොටස වන්නේ ඉදිකිරීම් කටයුතු ඉතා හොඳින් මෙහෙය වීම සඳහා අනු කමිටුවක් පත් කිරීමයි. ඒ වගේම හොද සන්නිවේදන කමිටුවක් අවශ්‍යයි. ඒ වගේම නිවාස ගොඩනැගීම සඳහා තව ඒකකයක් හදනවා. මේ අන්දමින් ඒකක 07ක් නිර්මාණය කරනවා. මම ආරාධනා කරනවා මේ කටයුතු සඳහා එක් වෙන්න කියලා.

අපි දන්නවා ජනාධිපති කාර්යසාධක බලකාය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.අපි ඉතා ඉක්මනින් විශේෂ විධිවිධාන පනතක් මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරනවා. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අවම වශයෙන් වසර තුනක අඛණ්ඩ සැලැස්මක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විශේෂ විධිවිධාන පනතක් ගෙන ඒමට අපි සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අපිට ස්ථාවර සැලසුම් අවශ්‍යයි. මේ ස්ථාවර සැලසුම් සකස් කර ගැනීමේදී අපේ හෙලිකොප්ටර් බලඇණිය ඉතා වැදගත් වෙනවා. අපේ හෙලිකොප්ටර් වසර 07ක ආසන්න කාලයක් බිම නතර කරලා තිබෙනවා. ගත වන සෑම වසරක්ම අපිට හානියක්. එයින් MI 70 හෙලිකොප්ටර් 05ක ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. මේවා කලින් කරන්න තිබුණු දේවල්. අපි ඇවිල්ලා හෙලිකොප්ටර් 05ක ප්‍රසම්පාදන සඳහා දැනටමත් ටෙන්ඩර් ප්‍රදානය කර අවසන් කර තිබෙනවා. තව හෙලිකොප්ටර් 07ක් බිම තියෙනවා. එහි ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන අතර මාසයක් දෙකක් යන විට නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකියි. එවිට හෙලිකොප්ටර් බලඇණිය තව 12කින් වැඩි වෙනවා. රටක් ව්‍යසනයකට මුහුණ දිය යුත්තේ එලෙසයි.

අද අපිට අවශ්‍ය කුරිරු දේශපාලනයක් නොවෙයි. මෙය අත්හරින ලෙස අපි ආරාධනා කරනවා. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය තිබෙනවා. අපි යෝජනා කරන්නේ මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට වගේම මෙවැනි ව්‍යසනයක් නැවත ඇති වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපි න්‍යාය පත්‍රයකට යා යුතුයි.

ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සහ විපක්ෂය කියන එකෙන් අයින් වෙලා වසර තුනක්, හතරක් ජාතික සභාවක් ලෙස කටයුතු කරමු කියා මම ඉල්ලනවා. දේශපාලන ප්‍රශ්න දේශපාලන පොර පිටියේදී බේරා ගනිමු. මේ ව්‍යසනය හමුවේ වත් අපි පොදු න්‍යාය පත්‍රයකට එමින් රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරමු. ඒ නිසා පොදු ජනතාව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම මම ආරාධනා කරනවා ජාතික සභාවක් ලෙස කටයුතු කර ඉදිරි වසර තුන හතර තුළ මේ ප්‍රශ්නය තිරසාර ලෙස විසදා ගනිමු කියලා. ඒ වගේම ඒ සඳහා එක්වන ලෙස අපේ බුද්ධිමතුන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ සියලුදෙනාට අපි ආරාධනා කරනවා. මේ ව්‍යසනය ඉතා වේදනාකාරී ව්‍යසනයක්. එහෙත් ඒ ව්‍යසනය හමුවේ අපි අලුත් මාවතක් තෝරා ගනිමු. මේ රාජ්‍ය යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා මැදිහත් වෙමු කියා සියලු දෙනාට අරාධනා කරනවා.”

ඉඩම නිවස අහිමි වූ ජනතාවට කෝටියක වන්දියක්.. ජනපති සහතික වෙයි.!

ඉඩම නිවස අහිමි වූ ජනතාවට කෝටියක වන්දියක්.. ජනපති සහතික වෙයි.!

අද (5) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවයි.

ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ.

එම දීමනාව අද සහ හෙට යන දිනයන්වලදී ලබා දෙන බව පැවසූ ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ ආපදාවන් වලට ගොදු වූ නිවාස සඳහා නැවත ගෘහභාණ්ඩ මිලදී ගැනීමට රුපියල් පනස් දාහක මුදලක් ලබාදෙන බවයි.

ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ ධාන්‍ය වර්ග සඳහා හෙක්ටයාරියකට එක් ලක්ෂ පනස් දහසක දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

ජනපති අද පාර්ලිමේන්තුවට.!

ජනපති අද පාර්ලිමේන්තුවට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

අද පැවැත්වෙන මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අතර ජනාධිපතිවරයාද ඊට සහභාගීවීමට නියමිතව ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකාව යළි ගොඩනගන අරමුදලට මිලියන 697ක් දැනටමත් එකතු වෙලා.!

ශ්‍රී ලංකාව යළි ගොඩනගන අරමුදලට මිලියන 697ක් දැනටමත් එකතු වෙලා.!

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) සඳහා මේ දක්වා රුපියල් මිලියන 697කට අධික පරිත්‍යාග මුදලක් ලැබී ඇති බවයි.

ඉන් රුපියල් මිලියන 635ක් ලංකා බැංකු ගිණුම හරහා ද, රුපියල් මිලියන 61කට අධික මුදලක් මහ බැංකු ගිණුම් හරහා ද ලැබී ඇති බව ලේකම්වරයා පැවසීය.

මෙම මුදල රටවල් 33කට අධික සංඛ්‍යාවක දායකයින්ගේ විවිධ තැන්පතු 30,470ක් මගින් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අද (04) දිනයෙන් ආරම්භ වන අතර ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වේ.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (04) අලුයම සිරිපා මළුවට වැඩම කෙරුණි.

මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඊයේ (02) වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ,

“අයහපත් කාලගුණයෙන් අපේ පුරවැසියන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඒ පිරිසට අවශ්‍ය සහන සැලසීමට රජය මැදිහත් වෙනවා වගේම, විදෙස්ගතව සිටින ශ්‍රී ලාකිකයන්ගෙනුත් විපතට පත් පිරිසට අවශ්‍ය කරන සහාය ලබා දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් තිබුණා. ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම ක්‍රියාවලියට මැදිහත් වී, මේ වන විට වැඩපිළිවෙළ 02ක් අනුගමනය කරමින් සිටිනවා.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළා. මේ වන විට 19,000කට අධික විදෙස්ගත ශ්‍රමිකයන් පිරිසක් එහි මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ වගේම, දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව මෙරටට භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙනවා. ඒ වගේම එලෙස භාණ්ඩවලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර තිබෙනවා.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව කිව යුතුයි.

කෙසේ නමුත් මෙලෙස එවන භාණ්ඩවලට මෙම පහසුකම ලැබෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙනවා.

ඒ වගේම, සියලුම රටවල තානාපති කාර්යාල හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබීමෙන් අනතුරුව ආපදාවට පත් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කඩිනමින් විපතට පත් වූවන් වෙත බෙදා දීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට බැංකු හරහා මුදල් එවීමට අපහසුතා පවතින්නේ නම් අදාළ රටේ තානාපති කාර්යාල හරහාද මෙරටට මුදල් එවීමට හැකියාව පවතිනවා. විදෙස්ගත ශ්‍රමිකයන් වශයෙන් ඔබ එවන මුදල් සහ භාණ්ඩ ලබා දෙන්නේ ඔබේ සහෝදරයාට, අසල්වැසියාට වෙන්න පුළුවන්. එම නිසා විපතට පත් වූවන්ගේ ජනජීවිතය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.”

නැවත වැසි ඇතිවීම කඳුකරයට මාරාන්තිකයි.!

නැවත වැසි ඇතිවීම කඳුකරයට මාරාන්තිකයි.!

දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම කාලගුණ විද්‍යා නිවේදනවල දක් වන දත්ත වලට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම මහජන නිවේදනය නිකුත් කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්‍ෂා කරන බැවින් දෙසැම්බර් 4 වැනි දින සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (02) දින පස්වරු තුනට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්.!

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්.!

රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර ඇත.

2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය 
04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
09. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16. මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20. කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය
21. වව්නියාව‍ පරිපාලන දිස්ත්‍රික්කය
22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය