හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් – දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) දින නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වරද පිළිගෙන ඇත.
එම ලබාගත් රුපියල් හය ලක්ෂ තිස්පන්දහක මුදල අධිකරණය හමුවේ ගෙවීමට එකඟවී ඇති අතර අනතුරුව සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර යළිත් මෙම නඩුව ඔක්තෝබර් (22) වැනිදා කැඳවීමට මහේස්ත්‍රත්වරයා නියෝග කළේය.
මෙම සැකකරු පසුගිය 2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ශේත්‍ර නිලධාරියෙකු සමග එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ එම කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 6ත් 15ත් අතර ප්‍රමාණයක් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබාගෙන මෙතෙක් කල් මෙම ඉඩම ලබා නොදී ඇත.
අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සැකකරු මෙවැනි මුදල් වංචා ගණනාවකට සම්බන්ධ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු ඉදිරි විමර්ශව කටයුතු සිදු කරන බවත් මෙම මුදල් වංචාවට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
