Top Story

කථානායකට එරෙහි විශ්වාසභංගය දින නියමයක් නොමැතිව කල්යයි

කථානායකට එරෙහි විශ්වාසභංගය දින නියමයක් නොමැතිව කල්යයි

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව ඇත.

අදාළ විවාදය ලබන (20) වන අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර ඇති අතර කථානායකවරයාට එරෙහි යෝජනාවේ කරුණු 50ක් සඳහන්ව ඇති බැවින් ඊට එක් දිනයක් ප්‍රමාණවත් නොවන බව විපක්ෂයේ නියෝජිතයින් පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු වල තාක්ෂණික ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බවට ආණ්ඩු පක්ෂය විසින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් නියෝගයක්

අද (16) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමට ඉඩ නොදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

පොලීසිය සිදුකළ එම ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

අනෝජන්ගේ මරණ දඬුවම අහෝසියි.. ජනපතිගෙන් ‘X’ සටහනක්

අනෝජන්ගේ මරණ දඬුවම අහෝසියි.. ජනපතිගෙන් ‘X’ සටහනක්

මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියට ලබාදීමට රජය සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනපති අනුර පෞද්ගලික ඉන්ධන සමාගම් වලට අනතුරු අඟවයි

ජනපති අනුර පෞද්ගලික ඉන්ධන සමාගම් වලට අනතුරු අඟවයි

දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පෞද්ගලික අංශ විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම සහ අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන හල් පමණක් ඇති ප්‍රදේශ හඳුනාගෙන එම ස්ථානවල අදාළ විවෘත කිරීම් සිදු කිරීම කඩිනම් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපි CPC ආයතනය ශක්තිමත් කරනවා. අපි නැවත පෙට්‍රල් ෂෙඩ් 75ක්, දැනට අධ්‍යනය කර හදුනාගෙන තිබෙනවා පෙට්‍රල් ෂෙඩ් 75ක් අලුතින් ආරම්භ කරන්න. අර ප්‍රයිවට් ආයතන තිබෙන තැන්වල, මොකද කොයි වෙලාවේත් මේ අනතුර අපිට තියෙනවා.

හෙට ඒගොල්ලෝ බෙදාහරින්නේ නෑ කිවුවොත් අපි මොකද කරන්නේ. ඔවුන් මත විතරයි සමහර කලාප වල තෙල් සැපයුම තියෙන්නේ. සාධාරණ නෑනේ. එනිසා අපි ස්ථාන 75ක් තෝරාගෙන අලුතින් පෙට්‍රල් ෂෙඩ් ආරම්භ කරනවා. CPC ආයතනය.

මොකද මේ බලශක්ති කේෂ්ත්‍රයේ අවිනිශ්චිත භාවයකට, අවධානමකට ලක් කරන්න කාටවත් අයිතියක් නෑ. මේක අපේ රටේ සමාජ ජීවිතයෙත්, ආර්ථික ජීවිතයෙත් ප්‍රධාන පැවැත්ම. ඒක කොහොමද සමාගමක් තීරණය කරන්නේ මම බෙදාහරින්නේ නෑ කියලා. එහෙම සමාගම් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා.”

ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපතිගේ නෝනා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්

ජනාධිපතිගේ නෝනා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්

ජනාධිපතිගේ නෝනා සහ ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම ජාතික ජන බලවේග ආණ්ඩුව සහතික වශයෙන් කරලා තියෙන බවත් තවත් කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අද (11) දින ඉබ්බාගමුව, ගොකරැල්ල ක්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ රටේ හිතුවා ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. මන්ත්‍රී ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ඇමති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.

ජනාධිපති කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ නෝනා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.

එනිසා අපේ රටේ තිබ්බා ලයිසන් ගත්තු හොරු හිටියා, අහිංසක හොරු හිටියා. අපේ රටේ ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. නීතිය ක්‍රියාත්මක වුණේ, පොල් ගෙඩියකට මොකක්හරි කරන, අල්ලපු වත්තෙන් කෙසෙල් කනක් කපපු. මතකද.

පොඩි පොඩි හොරුන්ට. එනිසා මේ නීතිය පිළිබඳව තිබුණා, හොරු ගැන තිබුණා සුප්‍රසිද්ධ කියමනක්. මේ නීතිය යනු මකුලු දැලක් වගේ. ඒ කියන්නේ, පොඩි පොඩි කෘමීන් අහුවෙනවා. ලොකු ලොකු අය ඉරාගෙන යනවා.

සමහර අය හිටියා තමන් ගාවට, හොරකම් කරලා නීතිය ලගාවෙන්න බෑ තමන්ගේ රෂ්මි කදම්බයක් තියෙනවා. ඒ රෂ්මි කදම්බය හමුවේ නීතිය අළු වෙනවා. ලගට එනකොට නීතිය පිච්චෙනවා. ඒ තරම් බලවත්.

ජනතාවට සැකයක් තිබ්බා නම්, තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳව අපේ ආණ්ඩුව හැදුවනම් අපි ඒක සහතික වශයෙන් කරලා තියෙනවා. කරමින් ඉන්නවා.”

ඉන්ධන ගැටලුවට රජය ගත් අලුත් තීරණය

ඉන්ධන ගැටලුවට රජය ගත් අලුත් තීරණය

පවතින ඉන්ධන ගැටලුවට විසදුම් ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇත.

ඒ අනුව ඉන්ධන ගැටලුවට විසදුම් වශයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තවත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක්ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළෙඳපොලට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමාකරා.

නමුත් අපි එක පැත්තකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළෙඳපොළට සපයන ප්‍රමාණය වැඩි කරලා විශේෂයෙන් 55%ක් තිබුණු එක 80% වෙනකන් වැඩි කරලා ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අඩු කරන්න අපි කටයුතු කරා.

නමුත් තේරුම්ගන්න පුළුවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලුව අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අර්බුද කාලය සමනය කර ගත්තයින් පස්සේ ඔවුන්ට සාධාරණ ලාභයක් ඇතිව වෙළෙඳ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා.

ඒ වගේම ඇතිවන ගැටලුව අවම කර ගැනීම සඳහා සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල්  ඇතිකරමින් මේවගේ අර්බුදකාරී ත්ත්වයකදී ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න.”

මහ පාරේ පරණ සෙල්ලම් ආයෙත් බෑ.. ක්ෂණිකව නීතිය.. රහසිගතව අරඹයි

මහ පාරේ පරණ සෙල්ලම් ආයෙත් බෑ.. ක්ෂණිකව නීතිය.. රහසිගතව අරඹයි

මාර්ග වල අධික ලෙස දුම් පිටකරමින් ධාවනය වන වාහන හඳුනා ගැනීම සඳහා විශේෂ ඡායාරූප ඒකකයක් ස්ථාපිත කිරීමට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන පියවර ගෙන ඇත.

එම නව ඒකකය මගින් මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දුමාරය පදනම් කර ගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි නිලධාරීන්, මාර්ගයේ උපායශීලී ස්ථානවල රැඳී සිට අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කරයි.

එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නඩත්තු නියෝග නිකුත් කිරීමට නියමිත අතර එම නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතුයි.

යම් හෙයකින් එම නියෝගයට ප්‍රතිචාර නොදක්වන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන අතර එවැනි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී හෝ වාහන පැවරුම් කිරීමේදී දැඩි බාධා එල්ල වනු ඇත.

සිවුර ගැලවීමේ ප්‍රශ්නය අවසන්.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිවුර ගැලවීමේ ප්‍රශ්නය අවසන්.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහා කළේ අද (08) ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය.

මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“ වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පණවන නිත්‍ය නියෝග මගිනුයි

මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.එම නිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.

බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.

ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්‍රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි. අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.

මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි.
බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.

ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා. හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි.

නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව අපේ හාමුදුරුවනේ, මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී “නීතිය යනු පාලකයාගේ කැමැත්තය” කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.

නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි.

භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි” ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ මහා නායක හිමිවරුන් වෙනුවෙන් මෙහි වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කෘතඥතා පූර්වක ආශිර්වාදය පළ කළහ.

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය කොන්ගස්තැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ යන ත්‍රයි නිකායික මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඥනසාර හිමි බන්ධනාගාරයට.. මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

ඥනසාර හිමි බන්ධනාගාරයට.. මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

බන්ධනාගාරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බව සඳහන් කරයි.

අවසන් මොහොතේ ශිරන්ති බන්ධනාගාරයට

අවසන් මොහොතේ ශිරන්ති බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (07) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

“සරිළිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය.