Top Story

විෂ මත්ද්‍රව්‍ය විනාශ කර වරදකරුවන්ට දඬුවම් ලබාදීම කඩිනම් කරයි

විෂ මත්ද්‍රව්‍ය විනාශ කර වරදකරුවන්ට දඬුවම් ලබාදීම කඩිනම් කරයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (07) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරිමට එමගින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළෙහි ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් බව නිලධාරීහු පෙන්වා දුන්හ.

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු, 2025.10.30 වන දින සිට මේ දක්වා ගංජා කිලෝ ග්‍රෑම් 5437.457ක්ද, හොරොයින් කිලෝ ග්‍රෑම් 1936.325ක්ද, අයිස් කිලෝ ග්‍රෑම් 1991.414ක්ද, කොකේන් කිලෝග්‍රෑම් 271.724ක්ද, මත්පෙති 1,574,895ක්ද, නීති විරෝධී සිගරට් 629,988ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඊට අදාළව සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර 2007 අංක 54 දරන පුනරුත්ථාපන (සංශෝධිත) පනත් කෙටුම්පත ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කෙරිණි. පුනරුත්ථාපන ක්‍රියාවලිය, එහිදී අනුගමනය කළ හැකි ක්‍රමෝපාය මෙන්ම පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබවඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයෙන් පසුව යළි ඇබ්බැහිවීම වැළැක්වීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ වෙනුවෙන් පෞරුෂය සහ ආකල්ප සංවර්ධන වැඩසටහන්, රැකියා ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් සහ ස්වයංරැකියා සඳහා සහාය ලබා දීම ආදී වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙන බව සඳහන් කෙරිණි.

එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, මත්ද්‍රව්‍ය හේතුවෙන් වැඩිම පීඩාවට පත් වූ පවුල් 25 බැගින් තෝරා ගෙන ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර, එම සියලු වැඩසටහන් ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට පමණක් සීමා නොවී, එම පණිවිඩය නිසි ලෙස සමාජගත වී ඇත්ද සහ එහි ප්‍රගතිය පිළිබඳ නිරන්තර පසු විපරමක නිරත වීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ ජනාධිපතිවරයා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් එම යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍යවලට අදාළ නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ නඩු පැවරීම් කඩිනම් කිරීමට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිස් සම්බන්ධ නීතිමය කටයුතු සහ එම ක්‍රියාවලිය කඩිනම් කර, බන්ධනාගාර තදබදය මඟහරවා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍යවලට අදාළව පසුගිය දා අත්අඩංගුවට ගත් භික්ෂුන්වහන්සේලා සම්බන්ධ විමර්ශන කටයුතු සහ පවතින තත්ත්වය පිළිබඳවද මෙහිදී පොලිස්පතිවරයා විසින් පැහැදිලි කරන ලදී.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක සංවිධානාත්මක වැඩපිළිවෙළ මැඬලීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කාර්යාංශය එක්ව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය මෙන්ම ජූනි (26) දිනට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ප්‍රජාව මුල් කර ගනිමින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාව දැනුවත් කෙරිණි.

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සම්මතයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අද (07) දින යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 6ක් පමණි.

පාසල් කිහිපයක් හෙට වසා දමයි

පාසල් කිහිපයක් හෙට වසා දමයි

මේ දිනවල පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) දින වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දමයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ ප්‍රකාශ කර ඇත.

අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

රයිස්, බුරියානි සහ ලාෆ් තේ මිල ඉහළ⁣ට

රයිස්, බුරියානි සහ ලාෆ් තේ මිල ඉහළ⁣ට

අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර ලාෆ් ගෑස් භාවිත කර ආපනශාල පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

එවැනි වෙළෙඳසැල් 25% – 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර ඔවුන්ට ලාෆ් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

ඒ අනුව ලාෆ් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් වල ප්ලේන් ටී එකක් රුපියල් 5කින් සහ කිරි තේ එකක් රුපියල් 10කින් ඉහළ නංවා ඇත.

කෙටි ආහාර වර්ග රුපියල් 5කින් ඉහළ නංවා ඇති අතර බිත්තර රොටිවල සහ පරාටා වල මිල වැඩිවීමක් නොමැති බවද සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ අල්මාරි ඇතුළු සියල්ල චෙක් කරයි.. පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

මන්ත්‍රීවරුන්ගේ අල්මාරි ඇතුළු සියල්ල චෙක් කරයි.. පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

වියට්නාම ජනාධිපති ටෝ ලාම් හෙට (08) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බැවින් මෙම රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක කරන බව කථානායකවරයා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළු සමස්ත ගොඩනැගිලි සංකීර්ණයම විශේෂ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරනු ලබන අතර හෙට උදෑසන වනවිට හඳුනාගත් අධි ආරක්ෂිත කලාපයන් නැවත පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව කතානායකවරයා සඳහන් කරයි.

ඒ අනුව විශේෂ ආරක්ෂක සැලැස්ම යටතේ අද දින සිටම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට ලක් කරන බව කතානායකවරයා සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකි තාක් දුරට පෞද්ගලික රියදුරෙකු සමඟ පැමිණෙන ලෙසත් අමුත්තන් කැටුව පැමිණීමෙන් වළකින ලෙසත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා ඇත.

තමන් විසින්ම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ සේවාවක් ක්‍රියාත්මක වන බවත් වාහනය පිවිසුම් දොරටුව අසලදී පාර්ලිමේන්තු රියදුරු සේවයට භාරදිය හැකි බවත් ඔවුන් එම වාහන නියමිත රථගාල්වල ගාල් කළ යුතු බවද කතානායකවරයා සඳහන් කරයි.

හෙට දින පාර්ලිමේන්තු මහජන ගැලරිය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත නොවන අතර එය විශේෂ ආරාධිත අමුත්තන් සඳහා පමණක් වෙන් කර ඇති බවත් යම් මන්ත්‍රීවරයෙකු සමඟ ආරාධිත අමුත්තෙකු පැමිණෙන්නේ නම්, ජයන්තිපුර පිවිසුමේදී සිය ආරාධනා පත්‍රය සහ අනන්‍යතාවය තහවුරු කළ යුතු බවද කතානායකවරයා සඳහන් කරයි.

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ

ගණේමුල්ල සංජීව ඝාතනය ගැන දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

කපිල චන්ද්‍රසේනට දුන් නියෝගය

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම විසින් නියෝග කර ඇත.

තවද එම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්

වට්ස්ඇප් (Whatsapp) භාවිතා කිරීමේදී සිදුකරන මුදල් වංචාවක් ගැන පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා ඇත.

ඉන්දීය සුරූපී තරුණියක් යොදා ගනිමින් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන එලෙස අනතුරු අඟවා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලි ලැබී ඇති බවත් මෙම වංචනික ක්‍රියාවට ඔබත් ගොදුරු වී ඇත්නම් වහාම ලඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

එනිසා නාඳුනන පුද්ගලයින්ගෙන් වට්ස්ඇප් හරහා පැමිණෙන වීඩියෝ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් වන ලෙසද එම සංසදය දැනුම් දෙයි.

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

ඒ අනුව එළඹෙන ජූලි (01) දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව සඳහන් කළාය.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදු කරයි.