කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට මෙලෙස විදෙස් ගමන් තහනම් කළේය.
කූඨ ලේඛන සකස් කරමින් කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට ඔවුන් සම්බන්ධ බවට තොරතුරු ඇති බැවින්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතු වලට බාධා විය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කළේය.
කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉඩම එලෙස පැවරීමේදී ලැබුණු මුදලින් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 50ක මුදල වෙනුවට වාහන 14ක් ලබාදී ඇති බවත් එලෙස ලැබුණු වාහන 14න් වාහන හතක් දෙවැනි පුද්ගලයාට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තාගේ ඇටර්නි බලකරුවන් ලෙස කටයුතු කර ඇත්තේ, ශාන්ත විතාන ගමගේ සහ ඩෙස්මන්ඩ් අමරසිංහ යන අය බවද හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
අදාළ පුද්ගලයින්ගේ නම් වලින් පවත්වාගෙන යන බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම්වලට අදාළ මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඔවුන්ගේ නම් වලින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89කට නියෝග කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේය.
අනතුරුව ගිණුම් වාර්තා කැඳවීමට අවසර ලබාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ ගිණුම් තොරතුරු රහස් පොලිසියට ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89ක කළමනාකරුවන්ට නියෝග කළේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිදුකරන විමර්ශන කටයුතුවල ප්‍රගතිය ඔක්තෝබර් (29) වනදා අධිකරණයට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළේය.
