ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තනතුරු ලබාගෙන ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු වීමෙන් පසුව නිලධාරීන් 77 දෙනෙකු සේවයෙන් පහකර ඇති අතර තවත් 20 දෙනෙකු පනත ප්‍රකාරව වන්දි ලබා ගැනීමේ එකඟතාවයෙන් සේවයෙන් ඉවත්ව තිබූ බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
ව්‍යාජ අධ්‍යාපන ප්‍රතිඵල සටහන් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත සහ ආයතන සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දැක්වුණද ඊට එරෙහිව කටයුතු කර නොතිබුණ බව එම විගණන වාර්තාව සඳහන් කරයි.
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ මෙම නිලධාරින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
සමෘද්ධි දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.
