සිනමාවේ චන්ඩි පාට් සැබෑ ජීවිතයේ බෑ.. හේමාල්ට අධිකරණයෙන් අවවාද

LIVE

සිනමා විචාරකයෙකුට ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාළව කැඳවන ලද සමථ මණ්ඩල වාර්තාවට අනුව ඔහු මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (10) දින නියෝග කළාය.

මෙම නඩුව අද (10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයට සමථ මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ අතර එම සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබුණේය.

පළමු වන කොන්දේසිය වූයේ, හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීම.

දෙවන කොන්දේසිය වූයේ, අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව ලබාදීම.

තුන් වන කොන්දේසිය වුයේ, පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් හෝ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීම.

හතර වන කොන්දේසිය වූයේ, තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීම.

නැවත මින් ඉදිරියට මෙලෙස අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදු නොකිරීමට වග බලා ගත යුතු බවටත්, පහරදීම් සිනමාවේදී හා නාට්‍යවලදී පමණක් සිදුවිය යුතු බවත් සැබෑ ජීවිතයේදී එයට නීතියෙන් අවසර නොමැති බවටත් පවසමින් මහේස්ත්‍රාත්වරිය ජනප්‍රිය නළු හේමාල් රණසිංහට අවවාද කළාය.

ඒ අනුව සමථ මණ්ඩල වාර්තාව පරිදි ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?