අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.
පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන වෙනත් පුද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස (17) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
