ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් ලබන (12) වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ පැමිණීමට නියමිත බව වාර්තා වේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (18) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ පළමු වතාවට ජනතාව ඇමතීමට නියමිත බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ නිසා ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වෙන රැළියට ජන සුනාමියක් පැමිණෙන බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
එනිසා එකා පිට එකා බන්ධනාගාරගත කළත් අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත ජන රැළිය නවත්වන්නට නොහැකි බවත් එය කිසිම අවස්තාවක නවත්වන්නේ නැති බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
