ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමට අදාළව පවතින නඩු දෙකේ, පසුගිය 2020 වසරේ මුලින්ම පැවරූ නඩුවේද සැකකරුවෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
ආන්දෝලනාත්මක ශ්‍රී ලංකන් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් නඩු 02ක් මේ වනවිට විභාග වෙමින් පවතියි.
1.මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2020 වසරේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව
2.මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා පැවරු නඩුව
මුලින්ම 2020 වසරේ පැවරු නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනායි.
පසුව 2026 වසරේ පෙබරවාරි (02) වනදා හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයෙක් වන ශමින්ද රාජපක්ෂ තුන්වන සැකකරු ලෙස නම් කළ අතර ඔහුට මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර ඇත.
මේ වනවිට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරන ලෙසයි.
මෙම නඩුව පසුගිය පෙබරවාරි අවසානයේ කැඳවු අවස්තාවේදි මෙම නඩු ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එළඹෙන සතියේදී මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳවා නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතය.
මේ අතර අනෙක් නඩුව වන්නේ,
2026 වසරේ සැප්තැම්බර් (04) වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරු නඩුවකට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරගත කර ඇත.
එම නඩුවේ චෝදනාව වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීම වේ.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවුයේ යැයි කියන අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය යන සිදුවීම් වලට අදාළ නඩු දෙකේම නාමල් රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කර ඇත.
