දැන් ඉතිං පොලීසිය එක්ක සෙල්ලම් බෑ.. Krav Maga සටන් උගන්වයි

LIVE

ආත්මාරක්ෂාව පිණිස භාවිතා කිරීමට Krav Maga සටන් ශෛලීය පොලිස් විද්‍යාල මගින් පුහුණු කිරීම ආරම්භ කර ඇත.

ප්‍රසිද්ධ ස්ථානවල සාමය කඩවන අයුරින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම පොලිස් අත්අඩංගුවට ගැනීමේදී රාජකාරියට බාධාකරමින් ප්‍රචන්ඩ ලෙස විරෝධය දක්වන සැකකරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා පොලිස් නිලධරයන් ආත්මාරක්ෂක සටන්කලාව ප්‍රගුණ කිරීම අතිශය වැදගත් වේ.

අත්අඩංගුවට ගන්නා තැනැත්තාගේ ශරීරයට කිසිදු හානියකින් තොරව නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැඩි ලෙස සැලකිලිමත් වන අතර, ඒ සඳහා සුදුසු මට්ටමේ පිළිගත් ආත්මආරක්ෂාව සටන් කළාවක් පොලිස් සේවයට ආධුනික කාලයේදී නිලධරයන් හට ලබාදීමට පොලිස් විද්‍යාල කටයුතු කරයි.

එම කාර්යභාරයේ තවත් එක් නවමු පියවරක් ලෙස වත්මන් පුහුණු උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ සංකල්පයක් අනුව පළමුවරට Krav Maga ආත්මාරක්ෂක සටන් ශෛලීය පොලිස් විද්‍යාල කොට්ඨාසයේ පුහුණු උපදේශකවරුන් සඳහා හඳුන්වා දෙමින් සිව් දින පුහුණු වැඩසටහනක් 2026.09.10 වන දින කළුතර පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.

මෙම පුහුණුවේ ආරම්භය නියෝජ්‍ය පොලිස්පති බඳවාගැනීම් හා පුහුණු ජගත් සේරම්ගේ ප්‍රධානත්වයෙන්, මෙම සටන් කලාවේ ප්‍රවීන උපදේශක සතිස් තිරමුණිගේගේ මෙහෙය වීමෙන් සිදුකෙරුණු අතර සහය උපදේශකවරුන් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහභාගී විය.

පෙර සඳහන් කළ පරිදි මෙවැනි ආත්මාරක්ෂක සටන් ශෛලීයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ ප්‍රචන්ඩව හැසිරෙන පුද්ගලයින්ව ශාරීරික හානියක් නොවන අයුරින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයන් පුහුණු කිරීමයි.

මෙම සටන් කලාවේ තවත් වටිනාකමක් වශයෙන් කිසිදු මෙවලමක් භාවිතා කිරීමෙන් තොරව දෑත් පමණක් භාවිත කරමින් ඕනෑම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට හැකි වීමයි.

මෙවැනි සටන් කලාවක් පොලිස් විද්‍යාලයේ පුහුණු උපදේශකවරුන් වෙත ලබාදීමෙන් පොලිස් විද්‍යාලයේ පුහුණු ලබන ආධුනික නිලධාරීන් සඳහා මෙන්ම විවිධ උසස් පුහුණු පාඨමාලා හදාරන නිලධාරීන් සඳහාද පුහුණුව ලබාදීමට හැකි වේ.

රාජකාරි දිවියේදී මෙන්ම නිලධාරීන්ගේ පුද්ගලික ජවිතය සඳහාද අවශ්‍ය කායික ශක්තිය මෙන්ම චිත්ත ධෛර්යද මෙමගින් වර්ධනය වනු ඇත.

එසේම පොලිස් නිලධාරීන්ගේ නීරෝගී භාවයටද මෙවැනි සටන් ශෛලීන් හැදැරීම විශාල පිටිවහලක් වනු ඇති බව සමාරම්භක උළෙල ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර ජගත් සේරම් ප්‍රකාශ කරන ලදී.

දින 04 ක් පුරා පැවති මෙම පාඨමාලාවේ සමාප්ති උළෙල නියෝජ්‍ය පොලිස්පති බඳ‍වාගැනීම් හා පුහුණු දිසාව භාර ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.15 දින සවස කළුතර පොලිස් විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම පාඨමාලාව හැදෑරූ පුහුණු උපදේශකවරුන් 33 දෙනෙකු ඇතුළු නිලධාරීන් විසින් මෙම ශෛලීන් ඇතුලත් සංදර්ශනයක් අවසන් දිනයේදී ඉදිරිපත් කරන ලදී.

0 Comments
Most Voted
Newest Oldest