“චීවරය – සිර ඇඳුම” අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳුම.?

LIVE

වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රෙගුලාසි අනුව බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් පළවන විවිධ මත ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක.

සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි. බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක.

එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබාදිය හැක. නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි.”

1 Comment
Most Voted
Newest Oldest