දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළේය.
අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙම සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර 56ක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කර තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරයි.
මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මස (19) වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත් එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත් කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර 56 නිකුත් කර තිබෙන බවද එම නිලධාරියා සඳහන් කරයි.
සැකකරු විසින් පත් කළ කමිටුව විසින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26 ක් නිකුත් කර තිබූ බවද එම නිලධාරියා සඳහන් කරයි.
මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගනු ලැබුවොත් රුපියල් 86,747,880ක මුදලක් රජයට අයකර ගැනීමට හැකියාවක් තිබුණද, මෙම සැකකරු වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අය කරගෙන අදාළ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමිවී තිබෙන බවද සඳහන් කරයි.
මේ තුළින් සැකකරු දූෂණය නමැති වරද සිදුකර තිබෙන බව සඳහන් කළ නිලධාරියා, බැංකු වාර්තා මෙන්ම දුරකථන ඇමතුම් වාර්තා ලබා ගැනීමට නියමිතව බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
