වීසා සහනය අහෝසියි.. අලුත් නීතිය එළියට

LIVE

තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවීමට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ලබාදී තිබූ පහසුකම සැප්තැම්බර් (15) වැනිදා සිට අහෝසි කිරීමට තායි රජය තීරණය කර ඇත.

සංශෝධිත වීසා නිදහස් කිරීමේ සහ වීසා ඔන් ඇරයිවල් (Visa on Arrival) ක්‍රමවේදය සම්බන්ධ නව නියෝග අගෝස්තු (31) වැනිදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නව නියෝග සැප්තැම්බර් (15) වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර තායි කැබිනට් මණ්ඩලය විසින් පසුගිය මැයි මාසයේදී අනුමත කළ වීසා ප්‍රතිපත්ති සමාලෝචනයකට අනුව මෙම සංශෝධන සිදුකර ඇත.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ දින 60ක වීසා නිදහස් කිරීමේ ක්‍රමය අහෝසි කිරීමටත්, කෙටි කාලීනව වීසා නොමැතිව ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුව සංශෝධනය කිරීමටත් තීරණය කර ඇත.

ජාතික ආරක්ෂාව, සංචාරක කර්මාන්තය සහ ආර්ථික අවශ්‍යතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම තායිලන්තයේ විද්‍යුත් වීසා (e-Visa) ක්‍රමවේදය ලබාගත හැකි වීම ඇතුළු කරුණු මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන ඇත.

සැප්තැම්බර් (15) වැනිදා සිට තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් එරටට පැමිණීමට පෙර අදාළ වීසා බලපත්‍රයක් ලබාගත යුතු අතර වීසා අයදුම්පත් තායිලන්තයේ නිල මාර්ගගත e-Visa පද්ධතිය හරහා ඉදිරිපත් කළ හැකි බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ පිහිටි තායි රාජකීය තානාපති කාර්යාලය වෙත පැමිණ වීසා අයදුම්පත් භාරගැනීම සිදු නොකරන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ අදාළ ගෙවීම් සියල්ල මාර්ගගතව සිදුකළ යුතු බව දැනුම් දී ඇත.

0 Comments
Most Voted
Newest Oldest