තැනැත්තන් වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 වාර්ෂික වාර්තාවට (Trafficking in Persons – TIP Report) අනුව, ශ්‍රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකරගෙන තිබේ.
තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ගෙන යන ප්රයත්නයන් මෙමඟින් පිළිබිඹු වේ.
තැනැත්තන් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව සිදු කරනු ලබන ප්රයත්නයන් මෙම පිළිගැනීමෙන් පිළිබිඹු වේ.
ආරක්ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF), තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, විමර්ශන හා නඩු පැවරීම්, සංක්‍රමණ කළමනාකරණය, ශ්‍රමික කටයුතු, ළමා ආරක්ෂාව සහ වින්දිත සහාය යන ක්ෂේත්‍ර වල වගකීම් දරන රාජ්‍ය ආයතන අතර ජාතික මට්ටමේ සම්බන්ධීකරණය අඛණ්ඩව සිදු කරයි.
වාර්තා කරණ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන තිබේ.
ඒ අතර ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස 2026 – 2030 තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම හා මැඩපැවැත්වීම සඳහා වූ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සඳහන් කළ හැකිය. ඉදිරි වසර පහ තුළ මෙම ක්ෂේත්රයට අදාළ කටයුතු සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික රාමුව මෙම සැලැස්ම මඟින් සපයනු ලබයි.
එමෙන්ම, දිස්ත්‍රික් මට්ටමින් තැනැත්තන් වෙළඳාමට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික් තැනැත්තන් වෙළඳාමට එරෙහි සංසද පිහිටුවීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම ද අඛණ්ඩව සිදු කර තිබේ.
මෙමඟින් ප්‍රාදේශීය බලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කර ඇත. එම යාන්ත්‍රණ හරහා වින්දිතයන් කල්තියා හඳුනා ගැනීම, සුදුසු සේවාවන් වෙත යොමු කිරීම සහ දිස්ත්‍රික් මට්ටමින් වඩාත් සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් ලබාදීම සඳහා පහසුකම් සැලසේ.
ක්ෂේත්රයේ ඉදිරි පෙළ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ හා ධාරිතා වර්ධන වැඩසටහන් පැවැත්වීම, කාර්ය සාධක බලකායේ සාමාජික ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර හා කලාපීය හවුල්කරුවන් සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් සිදු කරන බඳවා ගැනීම්, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සූරාකෑම් සහ බලහත්කාරයෙන් අපරාධ වලට යොමු කිරීම ඇතුළු තැනැත්තන් වෙළඳාමේ නව ප්රවණතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද මෙම කාල සීමාව තුළ ගෙන ඇති අනෙකුත් වැදගත් ක්‍රියාමාර්ග අතර වේ.
ශ්‍රී ලංකාව අඛණ්ඩව දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වයෙහි රැඳී සිටීම, තැනැත්තන් වෙළඳාමට එරෙහිව මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය සහ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ප්රයත්නයන් පිළිගැනීමක් වන අතරම, ජාතික ප්‍රතිචාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරයි.
ඉතිරිව පවතින අභියෝග වලට විසඳුම් සෙවීම මෙන්ම, තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය තවදුරටත් කැපවී සිටී.
තවද, අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකර ගැනීම, ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රතිචාරය ශක්තිමත් කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සාමූහික ප්රයත්නයන්හි ප්රතිඵලයකි.
මෙම ජයග්‍රහණය මඟින් අඛණ්ඩ කැපවීමේ, සහයෝගීතාවයේ සහ තැනැත්තන් වෙළඳාම ඵලදායී ලෙස වැළැක්වීම හා මැඩපැවැත්වීම සඳහා තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.

