ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් කරඬුව වැඩම කරවන ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහැර මංගල්‍යයන් සඳහා පමණක් සහභාගි කරවීමට තීරණය කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක සඳහන් කරයි.
මේ වනවිට 58 වැනි වියෙහි පසුවන ‘වාසනා’ හස්තියා, දිවයින පුරා ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ හස්තියෙකි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා ‘වාසනා’ හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවද බස්නායක නිලමේවරයා සඳහන් කරයි.
හස්තිරාජයාගේ නිදහස, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව දේවාල පරිපාලනය සඳහන් කරයි.
