හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ටික වේලාවකට පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අනතුරුව විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණය හමුවේ සඳහන් කළේ, සිය සේවාදායකයාගේ වාහනයේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට නිසි වෙලාවට අධිකරණය පෙනී සිටීමට නොහැකි වූ බවයි.
එනිසා සිය සේවාදායකයාට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ, මෙම ඉල්ලීම හෙට (22) දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි.
