මෙරට ආපදා තත්ත්වයකදී විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මගින් මෙම සහනාධාර තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙන ලදී.
මේ සඳහා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇති අතර ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින්, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් විසින් අදාළ පරිත්‍යාගය නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම හදිසි ආපදා සහනාධාර තොගයට සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03ක් ඇතුළුව ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල 999ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල 1,283ක්, වැඩිහිටි කට්ටල 246ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂක කට්ටල 1,659ක් ඇතුළත් වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ආපදා අවදානම ඉහළ දිස්ත්‍රික්කවල මෙම සම්පත් කල්තියා ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත.
එමගින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශවීම් හෝ ප්‍රදේශීය යටිතල පහසුකම් බිඳවැටීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රවාහන ප්‍රමාදයන් අවම කරමින් ජනතාව වෙත අත්‍යවශ්‍ය හදිසි සෞඛ්‍ය සේවා කඩිනමින් සැපයීමට හැකි වනු ඇත.
ස්වභාවික ආපදාවකින් සිදුවිය හැකි සමස්ත හානිය කල්තියා පුරෝකථනය කිරීම අතිශය දුෂ්කර බැවින්, ආපදා තත්ත්වයක් උද්ගත වූ පසු ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී පෙර සූදානමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එවැනි පූර්ව සූදානමක් තුළින් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමටත්, පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය කෙටිකාලීන පහසුකම් කඩිනමින් සලසාදීමටත් හැකිවන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එසේම මෙරට ආපදා පෙර සූදානම සහ සෞඛ්‍ය සේවා ප්‍රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ලබාදුන් මූල්‍ය සහයෝගය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන්ටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍යවරයා කෘතඥතාව පළ කළේය.
