හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ඔක්තෝබර් මස (13) වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.
අදාළ නඩුව අද (17) දින කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී මෙම නඩුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් විත්තියට ලබාදී නොමැති බව වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.
තවද, අල්ලස් කොමිසම විසින් ලබාදී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි බැවින් ඒවායේ පැහැදිලි පිටපත් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේය.
අනතුරුව, විත්තිය ඉල්ලා සිටින ඇතැම් ලේඛන මහාධිකරණයට භාරදී ඇති බැවින් ඒවා ලබාදීමට නොහැකි බවත් කොමිසම සතුව පවතින ලේඛන ලබාදිය හැකි බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිණි වික්‍රමසිංහ සඳහන් කළාය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණය භාරයේ පවතින විත්තිය ඉල්ලා සිටි ලේඛන නියමිත ගාස්තුවට යටත්ව ලබාදීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම සතුව පවතින සෙසු අදාළ ලේඛන ඇත්නම් ඒවාද විත්තියට ලබාදීමට කටයුතු කරන ලෙසද නියෝග කළේය.
