නව විශේෂාංග රැසක් සමඟින් අලුත් වු පාර්ලිමේන්තු වෙබ් අඩවිය.!

වසර 19 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.parliament.lk) නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර 27.11.2025 වන දින පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු විය.

මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා ඇත්තේ 2006 වර්ෂයේදීය.

ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය සිදු කරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙලෙස එළිදක්වන ලදී.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) පුර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන් සිදු කර ඇත.

නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර ඇත.

වෙබ් අඩවියේ “My Parliament” portal නැතහොත් “මගේ පාර්ලිමේන්තුව” ද්වාරය මඟින් සෑම පුරවැසියෙකුටම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබාදී ඇති අතර වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

තවද පාර්ලිමේන්තුව සමග කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා එම කටයුතු පහසු කරගැනීමටද අවස්ථාව පවතී.

පාර්ලිමේන්තු වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ සම්මානලාභී වෙබ් අඩවියක් වන අතර වසර ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ තරඟවලදී “හොඳම රජයේ වෙබ් අඩවිය” සහ “හොඳම බහුභාෂා වෙබ් අඩවිය” ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහා අනාගතයේදී සිදු කළ යුතු වෙනස්කම්ද මේ වන විට සැලසුම් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments