ගුරු සේවයට බඳවා ගැනීමට තරග විභාග දෙකක්.!

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2023.02.03 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන්ට සහ දැනට රාජ්‍ය සේවයේ නියුතුව සිටින උපාධිධාරීන්ට විවෘත සහ සීමිත තරග විභාග දෙකක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2026 මැයෙන් දැනට රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගය හඳුන්වා ඇති අතර රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 (2026) යනුවෙන් අනෙක් විභාගය නම් කර තිබේ.

රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගයට මේ මස 20 වන දින පෙරවරු 9:00 සිට මාර්තු 05 වන දින පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

එසේ ම, රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පවත් වන විභාගයට අද (පෙබ. 5) වන දින පෙරවරු 9:00 සිට ලබන 19 වන දා පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ දක්වා ඇත.

2023.02.10 දිනට පෙර මාර්ගගත ක්‍රමය යටතේ අයැදුම් කර ඇති උපාධිධාරීන් නැවත අයැදුම් කිරීම අවශ්‍ය නොවන බව ත් එම අයැදුම්පත් මෙවර විභාගයට අයැදුම් කළා සේ සලකන බව ත් එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයැදුම්පත් සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා ඇතැයිද ගැසට් පත්‍ර දෙකෙහි දක්වා තිබේ.

අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත තරග විභාගයේ සියලු ම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිට සියයට 40ක අවම ලකුණු ලබාගැනීම අවශ්‍ය බවත් අයැදුම්කරුවන්ගේ මුළු ලකුණුවල එකතුවේ ප්‍රමුඛතා අනුපිළිවෙළට පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයකට සමාන අයැදුම්කරුවන් ප්‍රමාණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට කැඳවන බව එමගින් දැනුම් දෙයි.

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරන අයැදුම්කරුවන් ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයකට භාජන කරන බව ත් එහිදී ලබාගන්නා ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බව ත් එහි දක්වා ඇත.

ප්‍රායෝගික පරීක්ෂණ අවස්ථාවේදී අයැදුම්කරුවන්ට පුරප්පාඩු ලේඛනය ප්‍රදර්ශනය කරන බව ත් අයැදුම්කරුවන් පුරප්පාඩු පවතින පාසල්වලට ස්වකීය මනාපය ප්‍රමුඛතා අනුපිළිවෙළින් දැක්විය යුතු බව ත් ගැසට් පත්‍ර දෙකෙහි සඳහන් කර තිබේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments