රටේ ජාතික සම්පත කාවන්තිස්සට යුක්තිය ඉටු විය යුතුයි

කාවන්තිස්ස ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද (17) දින අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිළධාරීන්ද ඇතුළුව විශේෂඥ කණ්ඩායමකට ඇතාගේ සිරුර යොමුකර මරණයට හේතුවූ කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාවන්තිස්ස ඇතා ඊයේ (16) පස්වරුවේ මියගිය අතර කාවන්තිස්ස, මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකි.

සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක පිහිටි වෙල්යායක වැටී සිටියදී කාවන්තිස්ස ඇතා ඊයේ (16) පෙරවරුවේ සොයා ගනු ලැබුවේය.

වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයටයි.

පෙරේදා ප්‍රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්ස ඇතා එම ස්ථානයේ ඇද වැටී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා පැය 24 පුරා ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටියහ.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ, ඇතාගේ වෙඩි වැදුණු තුවාලය සුව අතට හැරි තිබුණ ද ආහාර නොගැනීම හේතුවෙන් එම සත්ත්වයා විජලන තත්ත්වයකට පත්ව යළි දැඩි අසාද්‍ය තත්ත්වයට පත්ව ඇත.

කෙසේ වෙතත් කාවන්තිස්ස ඇතාගේ ජීවිතය අවසන් වීම, හුදු සාමාන්‍ය මරණයක් නොවන බවත් අලි මිනිස් ගැටුමේ හා නොසැලකිල්ලේ එකතුවක් ලෙස සිදුවූ ඝාතනයක් යන චෝදනාව කිසිවෙකුට බැහැර කළ නොහැක.

එනිසා ඉක්මන් සහ විනිවිද පරීක්ෂණයක් අවශ්‍ය බවත් වගකීම් පැහැර හැරිය සියලුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක විය යුතු අතර රටේ ජාතික සම්පත කාවන්තිස්සට යුක්තිය ඉටු විය යුතුයි.

0 Comments
Most Voted
Newest Oldest