පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක.. ගෝඨාභය හිරවෙයි

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සැකකරුවෙක් කරමින් සිදුකරන විමර්ශනයට අදාළව තවත් සුවිශේෂී විමර්ශන කිහිපයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අධිකරණයට දැනුම් දෙයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය තවදුරටත් නිදැල්ලේ සිටින බවට මහාධිකරණ ත්‍රිපුද්ගල නඩු තීන්දුවෙන් දඬුවම් නියම වු පුද්ගලයින් තුන්දෙනෙකු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මිල්හාන් සහ රිස්කාන්, සෙයිනුල් ආබ්දීන් යන එම වැරදිකරුවන් ලබාදුන් ප්‍රකාශ සම්බන්ධව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

නිලධාරීන් 08 දෙනෙකුට බන්ධනාගාරයට ගොස් ඊට අදාළ රැඳවියන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව (21) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබුවේය.

නඩුව කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පාස්කු ප්‍රහාරයට අදාලව විභාග වූ නඩුකරය තීන්දුව ලබාදුන් අවස්ථාවේ, වරදකරුවන් කළ තිදෙනෙකු ප්‍රකාශ කරමින් “අපි හිරේ ගියාට මේකට සම්බන්ධ අය තාම එළියේ ඉන්නවා” යැයි පවසා තිබෙනවා.

ස්වාමීනි., ඒ නඩුව තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ ප්‍රධානතම නඩුව. එනිසා මේ ප්‍රකාශ ගැන විමර්ශනය කරන්න ඕනේ. මේ වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනා අධිකරණයේ භය නැතිව ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ප්‍රකාශ.

එම නිසා විමර්ශන නිළධාරීන් 08 දෙනෙකුට 2026/10/22 සිට 2026/11/08 දක්වා කාලය තුල බන්ධනාගාරයට ගොස් මෙම පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවසර දෙමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

“විමර්ශන වලදී අනාවරණය වුණා අසාද් මවුලානව කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට හදුන්වලා දීලා තියෙන්නේ ඩග්ලස් දේවානන්දා කියලා. කජු සංස්ථාවේ සභාපති වෙච්ච ශංකර්ට අසාද් මවුලානව යොමු කරනවා.

කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට මුණගස්සවන්න කියලා. නමුත් ඩග්ලස් දේවානන්දා එය ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රකාශය ගත්තට පස්සේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඔහු ඒකෙ අපි ගත්ත ප්‍රකාශ සම්බන්ධවත් සඳහන් කරනවා. එහෙම කරන්න බැහැ.

ඔහු ඉන්නේ නීතියට යටින්. අනතුරුව ශංකර් කියලා පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක් ගත්තා. ඔහුගේ සාක්ෂිය ඉතා වැදගත් සාක්ෂියක්. මොහු තමයි ඩග්ලස් දේවානන්දාගේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානියා.

ඔහු ප්‍රකාශ කරනවා අසාද් මවුලානව කරුණා කණ්ඩායමට සම්බන්ධ කරලා දෙන්න උපදෙස් දුන්නේ ඩග්ලස් දේවානන්දා කියලා. පිල්ලෙයාන් සමගත් අසාද් මවුලානා සම්බන්ධතා පවත්වලා තියෙනවා. පසුව 2005 වසරේ ශංකර් දේශපාලනයෙන් ඉවත් වෙලා ස්විට්සර්ලන්තයේ වීසා ඉල්ලලා තියෙනවා මුළු පවුලටම.

ඇතැම් අය අසාද් මවුලානා, සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ කියන බව කියනවා. ඔහුට අසත්‍ය ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය නැහැ ස්වාමීනි., මොකද 2005, 2006 කාලය වෙද්දිත් අසාද් මවුලානාට දේශපාලන රැකවරණය ලැබිලා තිබුණා.”

සිදුකළ විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සිදු වීමෙන් පසුවත් එම ප්‍රහාරය සම්බන්ධව ලද තොරතුරු වසන් කිරීමට සුරේෂ්⁣ සලේගේ අනුදැනුම මත නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“කරුණා අම්මාන්ට රාජතාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් දෙනවා එංගලන්තෙට යන්න සුරෙෂ් සලේ ඇතුළු බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්. ඔහු එංගලන්තෙට යනවා ගියාට පස්සේ සලේ යනවා ඔහුව බලන්නත්. නමුත් සලේ ඒක ප්‍රතික්ෂේප කරනවා.

සලේ හමුවෙලා දින දෙකකට පමණ පසුව කරුණා අම්මාන්ව අත්අඩංගුවට අරන් සිරගත කරනවා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සතු වීම හේතුවෙන්. පසුව නැවත මෙරටට පිටුවහල් කරනවා. පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් කෙනෙක් කියන දුෂ්මන්ත ගුණවර්ධන කියන නමෙන් තමයි මේක අරන් තියෙන්නේ කරුණා අම්මාන්.

එහෙම කෙනෙක් දැන් හොයන්නවත් නැහැ. අඩුම ගානේ, හිටියද නැද්ද ඉන්නවද කියලවත් හොයා ගන්න බෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ සඳහා අදාළ සම්පූර්ණ විස්තර ලබාගත යුතුයි. එවගේම සලේ පොස්පෝර්ට් විශේෂඥයෙක්. ඔහුටත් පොස්පෝට් දෙකක් තුනක් විතර තියෙනවා.”

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී විමසීමක් සිදු කළේය.

එම අවස්තාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, තමන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ මේ නඩුවට අදාළව ප්‍රබල පුද්ගලයෙක් බවත් නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වලින් සාක්ෂි අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු කරාවියැයි අපේක්ෂා කරන බවයි.

මෙම නඩුව නොවැම්බර් මස (25) වැනිදා යළි කැඳවීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest